අඛණ්ඩව හත්වන වරටත් මෙරට ආයතනික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා බ‍්‍රැන්ඩික්ස්

Blood-donation-2016-17.jpg

බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින් විසින් 2016-17 වසර සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට (NBTS) ලේ පයින්ට් 4,090 ක් පරිත්‍යාග කරමින් පිට පිටම හත්වන වසර සඳහාත් මෙරට පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන්නා ලෙස ඇගයීමට ලක් විය.

මෙය සමූහය විසින් ජාතික රුධිර පාරවිලයන සේවයට වසරක් තුළ ප‍්‍රදානය කළ වැඩිම රුධිරය ප‍්‍රමාණය වන අතර ඒ සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් මෙරට කර්මාන්තශාලා 27 ක් තුළදී රුධිර කඳවුරු සංවිධානය කරන ලදී. මේ අනුව, බ‍්‍රැන්ඩික්ස් විසින් පසුගිය වසර දහය තුළදී ලේ පයින්ට් 24,513 ක් ජාතික රුධිර පාරවිලයන සේවයට පරිත්‍යාග කර තිබේ.

‘සමාජය පිළිබඳව අපගේ සාමාජිකයින් තුළ තිබෙන හැඟීම සැවොම දිරිගන්වන සුළුයි. ඒ වගේම එය උසස් ආදර්ශයක්, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සමූහ මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරීී, කර්නල් සුජිත් ජයසේකර මහතා සඳහන් කළේය. ‘ජාතික රුධිර පාරවිලයන සේවයට අඛණ්ඩවම ලේ ලබාදීම ජාතික අවශ්‍යතාවයක් යැයි ඔවුන් හඳුනාගෙන තිබෙන අතර සෑම වසරකම එය ඔවුන් සිදුකරන්නේ කැමැත්තෙන් යුතුවයි.’

මේ වසරේදී සිදුකළ මෙම සත්කාරය අගයමින් පසුගියදා ජාතික රුධිර පාරවිලයන සේවය විසින් බ‍්‍රැන්ඩික්ස්් සමූහයට ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ලේ දෙන්නා ලෙස ඇගයීමට ලක්කරමින් විශේෂ සමරු ඵලකයක් ප‍්‍රදානය කරන ලදී.

අවසන් වූ වසරේදී බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා අතුරින් වැඩිම ලේ පරිත්‍යාග කළ කර්මාන්තශාලා වූයේ පයින්ට් 448 ක් පරිත්‍යාග කළ වතුපිටිවල බ‍්‍රැන්ඩික්ස් ලෝන්ජරී ආයතනයත්, ලේ පයින්ට් 356 ක් පරිත්‍යාග කළ කොග්ගල බ‍්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් ආයතනයත්, ලේ පයින්ට් 333 ක් පරිත්‍යාග කළ පොලොන්නරුව බ‍්‍රැන්ඩික්ස් ඇතලෙෂර් ආයතනයත්ය. කර්මාන්තශාලා 27 අතුරින් 17 ක්ම තනි තනි වශයෙන් ගත්විට ලේ පයින්ට් 100 කට වඩා පරිත්‍යාග කර තිබීම මෙහිදී කැපී පෙනේ.

ජාතික රුධිර පාරවිලයන සේවයේ නිලධාරීන්ට අනුව රුධිරය සඳහා පවතින ඉල්ලූම සපුරාලීම සඳහා මෙවැනි ඉහළ ප‍්‍රමාණයේ ලේ දන්දීම් යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී අවශ්‍ය වේ. බ‍්‍රැන්ඩික්ස් රට පුරා ව්‍යාප්තවී තිබීම නිසා, කොළඹ මෙන් වැඩිපුර ප‍්‍රමාණයක් ලේ දන් නොදෙන ප‍්‍රදේශ වලින්ද සැලකිය යුතු ලේ ප‍්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන සේවය සඳහා එකතු කරදීමට කටයුතු කර තිබීම කැපී පෙනේ. මීට අමතරව, බ‍්‍රැන්ඩික්ස් ලේ දන්දීමේ වැඩසටහන වඩාත් සුවිශේෂී වන්නේ සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහන් සති අන්ත වලදී සිදුකළත් මෙය සතියේ වැඩ කරන දින වලදී සිදු කිරීම නිසයි. විශේෂයෙන්ම දින පහක ජීව කාලයක් ඇති රුධිර පට්ටිකා සඳහා පවතින ඉල්ලූම සපුරාලීම සඳහා මෙය උපකාරී වේ.

සේයාරු සටහන - සේයාරුවේ දැක්වෙන්නේ බ‍්‍රැන්ඩික්ස් වෙත පිරිනැමූ විශේෂ සමරු ඵලකය පිරිනමන අවස්ථාවට (වමේ සිට) ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පාරවිලයන විශේෂඥ, වෛද්‍ය සෙනරත් ජයසේකර මහතා, ජාතික රුධිර පාරවිලයන සේවයේ ලේ දන්දීමේ අංශයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිලන්ත ලියනගේ මහතා සහ බ‍්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ප‍්‍රධාන විධායක නිලධාරි ඉෂාන් දන්තනාරායන මහතා, ආයතනික සන්නිවේදන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනුක් ද සිල්වා මහතා, ආයතනික සන්නිවේදන අංශයේ සහකාර කළමනාකරු අනුෂ්ක ගුණසෝම මහතා සහභාගී වූ අවස්ථාවයි.