අද බැඳුම්කර වෙන්දේසියේ දී හතළිස්දාහක් ඉල්ලුවත් ලැබුණේ දහදාහයි

    April, 9, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ලංසු පිිළිගෙන ඇත්තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් 26.21% ක් පමණක් බව වාර්තා වේ.

    මෙහිදී 2023 සැප්තැම්බර් 01 දිනට කල්පිරෙන රු. මිලියන 25,000 ක බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණ ද ඊට ලැබී තිබුණු රු. මිලියන 27,645 ක්වූ ලංසු අතුරින් පිළිගත් ප්‍රමාණය රු. මිලියන 7,145 ක් පමණක් විය.

    මීට අමතරව 2028 ජූලි 01 දිනට කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 15,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණි. ඒ සඳහා රු. මිලියන 17,590 ක ලංසු ඉදිරිපත්ව තිබුණ ද පිළිගෙන ඇත්තේ රු. මිලියන 3,340 ක ලංසු පමණකි.

    මේ අනුව රු. මිලියන 40,000 ක්වූ සමස්ත නිකුතුවේ දී ලංසු අනුමත කර ඇත්තේ රු. මිලියන 10,485 ක ලංසු පමණකි. එනම් 26.21% කි.

    මීට පෙර මාර්තු 29 දින රුපියල් මිලියන 60,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබුණු අතර පරිණත කාල 3 ක් යටතේ එම නිකුතුව සඳහා ලංසු කැඳවා තිබුණි. කෙසේවෙතත් එහිදී අනුමත කෙරුණු සමස්ත ලංසු වටිනාකම රු. මිලියන 27,431 ක් විය.

    මේ අතර අවසාන වරට පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි 05 සඳහා ම ලැබුණු ලංසුවලින් පිළිගත් ප්‍රමාණය ඉතා පහළ අගයයක විය.

    2021 මාර්තු 09, මාර්තු 17, මාර්තු 24, මාර්තු 30 සහ අප්‍රේල් 07 යන දිනවල පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සඳහා රු. මිලියන 45,000 බැගින් වූ බිල්පත් වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබුණ ද ඒවායේ දී පිළිගෙන තිබුණේ පිළිවෙලින් රු. මිලියන 34,735 ක්, රු. මිලියන 25,819 ක්, රු. මිලියන 11,545 ක්, රු. මිලියන 10,264 ක් සහ රු. මිලියන 18,904 ක් වශයෙන් ලැබී තිබුණු ලංසු වටිනාකම්ය.

    රාජ්‍ය ණය සුරැකුම්පත් යනු කල් පිරීම මත ආපසු ගෙවීමේ පොරොන්දුව මත රජය විසින් නිකුත් කරන ලද ණය උපකරණයකි. භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රි ලංකා සංවර්ධන බැඳුම්කර  සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වැනි රාජ්‍ය සුරැකුම්පත් සඳහා කාලානුරූපී ව කූපන් හෝ පොලී ගෙවීමට හා කල් පිරීමේදී මුල් මුදල ගෙවීමට ද පොරොන්දු වේ.  භාණ්ඩාගාර බිල්පත් වට්ටම් සහිත ව නිකුත් කරන අතර කල් පිරීමේ දී වට්ටම් සහ මූලික ගෙවීම් ගෙවනු ලැබේ. ශ්‍රි ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරන අතර ඒවා කල් පිරීමේ දී ආපසු ගෙවනු ලැබේ.  රජයේ සහතිකභාවය නිසා මෙම සුරැකුම්පත් පෙරනිමි අවදානම් රහිත උපකරණ ලෙස සැලකේ.