“අපගේ අරමුණ වඩා හොඳ 4G අත්දැකීමක් ලබා දීමයි” – හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා

    July, 20, 2020

    මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකම පාරිභෝගිකයින්හට ගැලපෙන පුළුල් පරාසයක නව්‍යතම  සන්නිවේදන විසඳුම් පෙළක් සමග තවදුරටත් ස්ථාපිත වීමටත්, හච් සූදානම් වේ. ඉකුත් වසරේ එටිසලාට් හා ඒකාබද්ධ වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් සමාගමේ කැපී පෙනෙන පුනර්ජීවනයක් ඇති වුණු අතර,‍ හොංකොං හි CK හචිසන් අනුබද්ධ දේශීය සමාගම, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉතා ශක්තිමත් කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි.

    මෙම ලිපිය, හච් ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් පළ කෙරෙන්නක් වන අතර, සමාගමේ ජාල ආවරණය දීප ව්‍යාප්තව පුළුල් කිරීම සහ හච් තම පාරිභෝගිකයින් හට හොඳම ජංගම දුරකතන සන්නිවේදන අත්දැකීම් ලබා දීමට සහය වන ආකාරය මෙහිලා විස්තර කෙරේ.

    ඉකුත් වසරේ සිදු වූ සුවිශාල වෙනසක් ලෙසින් හච් හා එටිසලාට් ඒකාබද්ධ වීම මගින් ආවරණය සහ ධාරිතාව යන කරුණු  ද්විත්වය සම්බන්ධයෙන්ම වඩාත් විශාල ජාල යටිතල ව්‍යුහයක් සඳහා, හච් ප්‍රවේශය එක රැයකින් ලබා දීමට අවස්ථාව සැලසුණි. සම්පූර්ණ පාරිභෝගික පදනමක් වෙත ළඟා වීමට එමගින් හච් වෙතට ඉඩ ලැබුණු අතර, සන්නිවේදන අවශ්‍යතා හඳුනා ගන්නා සන්නාමයක් සොයන, ඩේටා පිපාසාවෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් සේවාව සැලසීමට එමගින් අවකාශ සැලසුණි.

    සමාගමේ ජවසම්පන්න හා කාර්යයෙහි කැපවූ ඉංජිනේරුවන් සහ තාක්ෂණික සහාය කාර්ය මණ්ඩලය 2G සහ 3G ජාල දෙකම ඒකාබද්ධ කිරීමට පමණක් නොව, උසස්ම 4G ජාලයක් එක් කිරීමට ද කටයුතු කළ අතර, ඒ හේතුවෙන් 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීම වැනි දැවැන්ත කාර්යයක් මාස 12 ක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට හැකිව තිබේ. ජාල ඒකාබද්ධ  කිරීම මගින් එටිසලාට් සතුව පැවති සම්පත් ඒකරාශි කරමින් දිවයින පුරා දුරකතන කුලුණු 2000 කට අධික ප්‍රමාණයක් මත නවතම 4G ආවරණයක් යෙදවීමට තම සමාගමට හැකි වූ බව හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේය.

    “2014 වසරේ සිට 4G සම්බන්ධතාව පැවතියත් ජංගම ග්‍රාහකයින්ගෙන් 40% ක් පමණක් එම සබඳතාව ලබා ගන්නා ශ්‍රී ලංකාවේ, තවමත් විශාල වශයෙන් 4G භාවිතා කිරීම සිදු වන්නේ නැහැ. මෙම මන්දගාමීත්වයට හේතු වශයෙන් මිල අධික 4G ජංගම දුරකතන හා උපාංග සහ 4G සේවාවන් භාවිතා කිරීමේදී දැරිය යුතු අධික පිරිවැය ඇතුළුව හේතු කිහිපයක් වෙනවා. අපගේ කාර්යය වී තිබෙන්නේ, පාරිභෝගිකයින්ට සෑම අංශයකින්ම ඩිජිටල් ප්‍රවේශයක් ලබා දීම සහ මුළු රටටම දැරිය හැකි 4G බ්‍රෝඩ්බෑන්ඩ් අත්දැකීමක් ගෙන ඒමයි.” හෙතෙම පැවසීය.

    පසුකාලීනව වෙළඳ පොළට පැමිණීමේ වාසියක් ලෙස නවීනතම හා වඩාත්ම දියුණු 4G තාක්‍ෂණය රට තුළ යෙදවීමට හච් වෙත හැකියාව ලැබිණි. ඊට අමතරව, වඩාත් දියුණු මූලික ජාල සහ බිල් පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර,  2G හා 3G ජාල ඇතුළුව සමස්ත හච් ජාලය ඒකාබද්ධ කරමින් වඩා හොඳ සේවාවක් සැලසීමට හච් කටයුතු කර තිබේ.

    “කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළට වී සිටි කාලය ඇතුළත පෙර නොවූ විරූ පරිදි ඩේටා භාවිතයේ වර්ධනයක් සිදු වුණා. ඒ වන විටත් අපගේ ජාල ව්‍යාප්තිය සම්පුර්ණ කර තිබීම අපට වාසනාවට කරුණක් වුණා. එවැනි කරුණු හේතුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ස්ථාවර සහ විශ්වාසදායක අත්දැකීමක් ලබා දීමට අපට හැකි වුණා.” නඩරාසා මහතා පැවසීය.

    HUTCH මගින් පිරිනමන ඩේටා පැකේජවල සුවිශේෂත්වය පිළිබඳව කතා කරමින් ඔහු සඳහන් කළේ, පාරිභෝගිකයින් හට සහන සැලසීමේ අරමුණින් යුතුව ඩේටා පැකේජ ගණනාවක් හඳුන්වා දී ඇති බවයි. කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීමට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාල පරිච්ඡේදය තුළ, හච් නිෂ්පාදනවල වෙනස්කම් සිදු කිරීමට සහ මිල නිර්ණය කිරීමේ උපාය මාර්ගික ක්‍රම වෙත යෙමු වුණු බවත්, එම තීරණ නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය හා මනාව ගැලපුණු බවත් ඔහු සඳහන් කළේය. එම කාලය ඇතුළත, හච් පාරිභෝගිකයින්ට ඇමතුම් හා  එස්.එම්. එස් මගින් සිය ආදරණීයයන් හා සම්බන්ධතාව පවත්වා ගැනීමට නොමිලේ දෛනිකව රීලෝඩ් පිරිනමමින් මිලියන 1.5 ක පාරිභෝගිකයින් පිරිසකට සේවාව සැලසුණු “Freemium” දීමනාවද හඳුන්වා දෙනු ලැබිණි.

    “පාරිභෝගිකයින් හට සේවාවන් සලසන සන්නාමයක් ලෙස ගනුදෙනුකරුවන් වෙනුවෙන් කටයුතු කරන අතර,  ඔවුන්ගේ දුක්ගැනවිලි වලටත් අපි කන් දෙනවා. ඊට පෙර අපි නයිට් ටයිම් ඩේටා භාවිත කළ හැකි කාල සීමාව සෑම දිනකම පෙ.ව. 9.00 දක්වා දීර්ඝ කරමින් පාරිභෝගිකයින් හට ඔවුන්ගේ ඩේටා ප්‍රමාණයෙන් 70% ක් දක්වා භාවිත කිරීමට ඉඩකඩ සැලසුවා. කාල සීමාවක් නොමැතිව 100% එනිටයිම් ඩේටා පැකේජ හඳුන්වා දීමේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවටත් අපි පත් වුණා.”

    අතිශයින්ම ජනප්‍රිය මුළු මාසයක් සඳහා වලංගු Unlimited YouTube පැකේජය රු. 147 ක මුදලකට හඳුන්වා දීමද, සම්පූර්ණ දින 30 ක් සඳහා වලංගු Facebook/Messenger/WhatsApp පැකේජය රු. 124 ක මිලකට හඳුන්වා දීමද හෙතෙම සිහිපත් කළේය. ඩේටා පැකේජ පිළීබඳව සඳහන් කරමින් ඔහු පැවසීය. එමෙන්ම, මීට පෙර 3G ජාලයේ පමණක් පැවති හච් cliQ යෙදවුම මේ වන විට වඩාත් සාර්ථකව 4G ජාලය මත දියත් කර තිබෙන බවත්, වෙළෙඳ පොළේ ප්‍රථම වතාවට off net මිනිත්තු හා එනිටයිම් ඩේටා ඇතුළත්ව දත්ත, ඇමතුම් හා එස්. එම්. එස් පැකේජ හච් විසින් හඳුන්වා දෙනු ලැබූ බවද හෙතෙම සිහිපත් කළේය.

    දැවැන්ත හා  සමීප හච් ජාලය ඒකාබද්ධ කළ දින පටන්ම ඊට අත් වන සුවිශාල ප්‍රතිචාරවලට හේතුව පහසු මිල හා හොඳම අත්දැකීම බවද ඔහු පැවසීය. රටේ සෑම පුරවැසියකුටම අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව සැලසීම හච් අරමුණ බවද, ඒ වෙනුවෙන් කැපවන හච් කණ්ඩායම හුදෙක් අලෙවිකරණ ක්‍රමෝපායන් පිළිබඳ පමණක් අවධානය යොමු නොකර,‍් පාරිභෝගිකයින් හට වැදගත් වන නව නිෂ්පාදන පිළිබඳ අවධානය යොමු කරන බවද, හච් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය‍.

    ලොව පුරා සෑම ජංගම දුරකථන ජාලයක්ම පාහේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව නම්, පාරිභෝගිකයින් හට අඛණ්ඩ සැපයුම ලබා දීමේ කාරණයයි. බොහෝ අවස්ථාවන්වල, 3G සහ 4G බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත ජාලයන්හි පවතින සුවිශාල දත්ත ඉල්ලුම නිසා, දත්ත හුවමාරුව වැඩී වී ජාලයේ සියලුම ග්‍රාහකයින් සඳහා අඛණ්ඩ සබඳතාව ඇණ හිටීමට පටන් ගනී. මේ කාරණය සැලකිල්ලට ගෙන, ඉදිරියේදී අඛණ්ඩ දත්ත සැපයුමක් අත්විඳිය හැකි බව සහතික කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම හා පුළුල් කළමනාකරණ ක්‍රියාවලියක් හච් ස්ථාපිත කර තිබේ.

    ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් 5G සේවා දියත් කීරීමට නම් දැනට පවතින 4G සේවාවට වඩා ඉහළ ඉල්ලුමක් පැවතිය යුතු යැයි සඳහන් කරමින්, ශ්‍රී ලංකාව තුළ 5G ජාල දියත් කිරීම සම්බන්ධයෙන් සිය සමාගමේ වත්මන් ස්ථාවරයද හෙතෙම ඉදිරිපත් කළේය.

    “මේ වන විටත් ගෝලීයව සහ දේශීයව 5G දියත් කිරීම පිළිබඳව විශාල විවාදයක් පවතිනවා. 5G පිළිබඳව ක්ෂේත්‍රය තුළ බොහෝ ප්‍රවණතා පැවතියත්,‍් 5G ජාලයකට විශාල වශයෙන් ආයෝජනය කිරීම සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් පරිශීලක අවශ්‍යතාවන් තවමත් හඳුනාගෙන නැහැ. ‘4G ජාලයක් මගින් සපුරා ගත නොහැකි සන්නිවේදන අවශ්‍යතා මොනවාද, යන්න හා වැඩි දියුණු කළ 5G ජාලයක ආයෝජනය කිරීමට එම අවශ්‍යතා ප්‍රමාණවත්ද?’ යන ප්‍රශ්නය මම නිතරම විමසනවා.” යනුවෙන් තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේය.

    අවසාන වශයෙන්, හච් ශ්‍රී ලංකාව පුරා දියත් කළ 4G අත්දැකීම විඳ, සන්නිවේදන අවශ්‍යතාවන් සපුරාලීමට හැකියාව ඇත්දැයි තමන් විසින්ම අත්හදා බලන ලෙස, ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකතන ග්‍රාහකයින් හට ඔහු ආරාධනා කර සිටියේය.