අපනයන සංවර්ධනය කෙරෙහි නව රජයෙන් සුවිශේෂ අවධානයක්

    August, 21, 2020

    ගෝලීය මට්ටමින් උද්ගත වන ආර්ථික අර්බුදයට මුහුණ දීමට සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී දායකත්වයක් අපනයන ක්‍රියාවලිය මගින් සිදු කළ හැකිය. වත්මන් රජය විසින් රටේ අපනයන ප්‍ර‍වර්ධනය සඳහා දක්වන උනන්දුව ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය මගින් ද, අමාත්‍යංශ විෂය පථයන් නම් කොට ඇති ආකාරයෙන් ද පැහැදිලි වෙයි.

    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සෑම රජයක් ම අපනයන ක්‍රියාවලිය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වා තිබුණ ද, දේශීය කර්මාන්ත නගා සිටුවීම, අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විෂය පථයන් ගණනාවක් නම් කිරීම, ඒ මගින් අපනයන විවිධාංගීකරණය ශක්තිමත් කිරීම කෙරෙහි වත්මන් රජය දක්වන අවධානය සුවිශේෂී වූවක් බව පෙනී යයි. ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනයේ සඳහන් ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකය’ මගින් අපනයන සංවර්ධනය හා ප්‍ර‍වර්ධනය සම්බන්ධ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට ඇත.

    එම ප්‍ර‍කාශනයේ සඳහන් පරිදි “ශ්‍රී ලංකාවේ නාමය ඓතිහාසිකව කාලයක් පුරා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළින් තබන ලද්දේ තේ, රබර්, පොල් කේන්ද්‍ර කරගත් අපනයන භෝගයන්ය. අනාගතයේ දීත් එම අවකාශය දිනා ගැනීම සඳහා වර්තමාන ගෝලීය වෙළෙඳපොළට ගැළපෙන ආකාරයට සහ වෙළෙඳපොළේ ස්ථාවරත්වය සහතික කර ගැනීම සඳහා නව තාක්ෂණය හා මුසු වටිනාකම් එකතු කිරීමේ නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.”

    COVID-19  තත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සඳහා අපනයන අංශය ඉදිරියට ගැනීම, දශක ගණනාවක් පුරා අපනයන ක්‍රියාවලියේ දී අඩු අවධානයක් යොමු වී තිබෙන කෘෂි අපනයන සඳහා වැඩි අවධානයක් යොමු කර තිබීම ද බලාපොරොත්තු සහගත ප්‍ර‍වණතාවයකි. අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අපනයන විෂය ඇතුළත් කොට තිබීම ඒ කාර්යය ප්‍රායෝගිකව සිදු කළ හැකි බවට සාක්ෂ්‍යයකි.

    • අරුන්දික ප්‍රනාන්දු මහතා -පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත
      කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ
    • කනක හේරත් මහතා -සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා
      තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන
    • දයාසිරි ජයසේකර මහතා -බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන
    • ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා
      වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
    • ලොහාන් රත්වත්තේ මහතා – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
    • කංචන විජේසේකර මහතා – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන
    • ඩී.බී. හේරත් මහතා – පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත
      කර්මාන්ත
    • ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා
      අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික
      කෘෂිකර්ම

    රජයේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ, විෂයගත ප්‍ර‍මුඛතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් අදාළ අමාත්‍යංශ සම්බන්ධීකරණය කර ගනිමින් අපනයන ප්‍ර‍වර්ධනය අරභයා පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍ර‍භාෂ් සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් එම වැඩපිළිවෙල දියත් කෙරේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍ර‍මුඛ විෂය භාර අමාත්‍යවරුනුත්, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු විෂයානුබද්ධ රාජ්‍ය ආයතනත් එක්ව කටයුතු කිරීමෙන් මෙම වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කර ගත හැකි වනු ඇත.