අපනයන සංවර්ධන මණ්ඩලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව ව්‍යවසායකයින් දැනුවත් කරයි

    March, 11, 2021

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන නව ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් 2021 මාර්තු 10 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. නව අපනයනකරුවන් සංවර්ධනය කිරීම සහ අපනයන වෙළඳපොළ තුළ ඇති අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පැවැත්විය.

    අපනයන වෙළෙඳපොළ තුළ ඇති අවස්ථාවන් සහ අපනයන කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2021 වසරේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ යටතේ හඳුනාගත් දිස්ත්‍රික්කවල දැනට සිටින ව්‍යාපාරික නායකයින් ඉලක්ක කර ගනිමින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සංවිධානය කරනු ලබයි.

    මෙහිදී කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා අපනයන වෙළඳපොල අවස්ථාවන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවා හා පහසුකම් සැපයීම, අපනයන වෙළඳපොල ඉලක්ක කර ගනිමින් අගය එකතු කිරීම සඳහා විභවය සහිත කෘෂිකාර්මික නිෂ්පාදන හඳුන්වා දීම, අපනයන වෙළඳපොල සඳහා අගය එකතු කිරීමේ විභවය සහිත කාර්මික නිෂ්පාදන හඳුන්වාදීම, අපනයන වෙළඳපොල සඳහා අපනයන සේවා අංශයේ අවස්ථා, අපනයන වෙළඳපොළ සහ අපනයනකරුවන් සඳහා කාර්මික තාක්ෂණ ආයතනය මගින් නව නිෂ්පාදන සංවර්ධනය හා අගය එකතු කිරීමේ අවස්ථා හඳුන්වා දීම, අපනයන වෙළඳපොළ සඳහා ප්‍රමිති සහ තත්ත්ව සහතික පවත්වා ගැනීමේ වැදගත්කම ප්‍ර‍මුඛ කාරණා ගණනාවක් පිළිබඳ අවබෝධය ලබා දීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.

    වැඩසටහන සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩි මෙල් මහතා ප්‍ර‍කාශ කර සිටියේ, අපනයන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු සහයෝගයන් අනෙකුත් රාජ්‍ය ආයතනයන් හා එක්ව ලබා දීමට අපනයන සංවර්ධන මණ්ඩලය බැඳී සිටින බවයි. රැස්ව සිටි ව්‍යවසායකයින් අමතමින් සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ, මීට වසර 30කට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපනයනකරුවන් සොයා ගැනීම පවා අසීරු කාරණයක් වූ බවත් වර්තමාන තත්වය ඊට හාත්පසින් ම වෙනස් වී ඇති බවත්ය. එහිදී ප්‍රදේශයේ ව්‍යවසායකයින්ට ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීම සඳහා සහයෝගය පළ කිරීම අවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය දැනුම හා සහයෝගය ලබා දීමට අපනයන සංවර්ධන මණ්ඩලය නිරන්තර සූදානමින් සිටින බවත් පැවසීය. ප්‍රාදේශීය ව්‍යවසායකයින් අපනයන ක්ෂේත්‍ර‍ට යොමු කිරීමෙන් රටක් වශයෙන් ආර්ථික අරමුණුවලට ළඟා විය හැකි බව ද සුරේෂ් ඩි මෙල් මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය මෙම අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේ රටේ පවතින වර්තමාන තත්වය මත විදේශ විනිමය උත්පාදනය කරන වැදගත්ම ක්ෂේත්‍ර‍යක් ලෙස අපනයන අංශය සුවිශාල කාර්යභාරයන් සිදු කරන බවයි. කොවිඩ් වසංගත තත්වය යටතේ විදේශ ශ්‍ර‍මික ඉපයීම් සහ සංචාරක කර්මාන්තය යම් පසුබෑමක් පෙන්නුව ද අපනයන ක්ෂේත්‍ර‍ අඛණ්ඩවම ඒ සඳහා දායකත්වය ලබා දුන් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    නව අපනයනකරුවන් සංවර්ධනය කිරීම සඳහා හැකියාවක් ඇති දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිගෙන ඇති අතර දැනට පවතින අපනයනකරුවන්ගෙන් බහුතරයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අමුද්‍රව්‍ය ලබා ගන්නා බවත් මෙම කලාපයේ වක්‍ර අපනයනකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් නිරීක්ෂණය වී තිබේ.

    නව අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ ආරාධිතයින් වශයෙන් හම්බන්තොට අතිරේක දිසාපති සී.ඒ. සුනෙත් ලෝචන මහතා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මිය, දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ටිලර් නාදුගල මහතා, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්. ඒ. ජයතිලක මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක දුමිදු සුදර්ශනී මහත්මිය, යන නිලධාරීන් සහභාගී විය.

    කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉල්මි හේවාජූලිගේ මහත්මිය, ශ්‍රී ලංකා ප්‍ර‍මිති ආයතනයේ සහකාර අධ්‍යක්ෂිකා භාෂිණී මෙන්ඩිස් මහත්මිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්  මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නෝය.