අපනයන සංවර්ධන මණ්ඩලය TIEP යෝජනා ක්‍රමය යටතේ කෘෂිකාර්මික අපනයනකරුවන්ට පහසුකම් සැලසීම පිළිබඳ දැනුවත් කරයි

    March, 16, 2023

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කෘෂිකාර්මික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ අපනයන සමාගම් 85 සහභාගීත්වයෙන් “තාවකාලික අපනයන සැකසුම් සඳහා ආනයන (TIEP) යෝජනා ක්‍රමය යටතේ කෘෂි අපනයනකරුවන්ට පහසුකම් සැලසීම” පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී.

    අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූයේ TIEP යෝජනා ක්‍රමය ප්‍රයෝජනයට ගැනීම සඳහා නව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සමාගම් ගෙන්වා ගැනීමේ අරමුණින් කෘෂි අපනයනකරුවන් අතර TIEP යෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමය. එයට අමතරව මෙම සම්මන්ත්‍රණයේ අරමුණු වූයේ, TIEP යෝජනා ක්‍රමය පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීම, TIEP ක්‍රියාවලියේ වත්මන් ගැටලු අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීම සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල අගය එකතු කිරීම ඉහළ නැංවීම සඳහා අපනයනකරුවන් දිරිමත් කිරීමයි.

    සම්මන්ත්‍රණය අමතමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා විසින් පාරිභෝගිකයින්ට භාවිත කළ හැකි අයුරින් නිෂ්පාදන ඇසුරුම්කරණයේ සහ වෙළඳ නාමකරණයේ වැදගත්කම පෙන්වා දුන් අතර නිෂ්පාදනවලට අගය එකතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. TIEP යෝජනා ක්‍රමය භාවිත කිරීමෙන් ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම සම්මන්ත්‍රණයට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ. ඒ. එස් යාපා මහතා සහ රේගු අධිකාරී චන්දිමාල් ලියනගේ මහතා ඇතුළු වෘත්තීය සහ පළපුරුදු සම්පත් දායකයින්ගේ ඉදිරිපත් කිරීම් ඇතුළත් වූ අතර ඔවුහු TIEP යෝජනා ක්‍රමය ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම පිළිබඳව කතා කළහ. සහකාර රේගු අධිකාරී ඉඳුනිල් ලියනගේ මහතා TIEP යෝජනා ක්‍රමය සහ TIEP අලුත් කිරීම පිළිබඳ හැඳින්වීමක් කළේය. සම්මන්ත්‍රණය  මගින් TIEP යෝජනා ක්‍රමය සහ කෘෂිකාර්මික අපනයනකරුවන් සඳහා එහි ප්‍රතිලාභ පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දෙනු ලැබිණි.