අයර්ලන්තයේ සිගාර් කම්හලක් ලංකාවට

    April, 18, 2017

    ලොව ප්‍රමුඛතම සිගාර් නිෂ්පාදකයෙකු වන බෙල්ජියමේ J. Cortés සමාගම සිය අයර්ලන්තයේ පිහිටි කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට විතැන් කිරීමට තීරණය කර තිබේ.

    අයර්ලන්තයේ Ballaghaderreen පිහිටි Exclusive Cigar Manufacturing Ireland සිගාර් නිෂ්පාදන සමාගම J. Cortés විසින් මෙම වසරේ ජනවාරි මාසයේ දී මිල දී ගැනීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව එළඹෙන මැයි මාසයේ දී එහි නිෂ්පාදන මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ අරඹන බව වාර්තා වේ.

    J. Cortés සමාගම දැනටමත් ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සැකසුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන යන අතර දහසකට ආසන්න සේවක සංඛ්‍යාවක් එහි සේවය කරනු ලබයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සමාගමක් ලෙසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත, දේශීය වෙළෙඳ පොළට විවෘත නොවන අතර බෙල්ජියමේ Handzame පිහිටි සිය මව් කර්මාන්තශාලාව වෙත අපනයනය කිරීම සිදුකරනු ලබයි.

    අයර්ලන්තය තුළ අදාළ සැකසුම් කර්මාන්තශාලාව පවත්වාගෙන යනවාට වඩා ඉතා අඩු ශ්‍රම පිරිවැයකට එය ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යාමට හැකි බැවින් J. Cortés සමාගම මෙම පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය හෙළි කර සිටී.

    J. Cortés යනු ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලේ සිගාර් නිෂ්පාදනයේ නියැලෙන සමාගමකි.