අර්ථසාධක අරමුදලට සම්පත් බැංකුවෙන් රු. මිලියන 447 ක ලාභාංශ ආදායමක්

    February, 14, 2020

    මෙරට ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, සිය නවතම මූල්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිය කොටස් හිමියන් සඳහා, එක් කොටසකට රු. 11.75 ක මුදල් ලාභාංශයක් ලබා දෙන බව නිවේදනය කර සිටී.

    ඒ අනුව සම්පත් බැංකුවේ දෙවැනියට විශාලතම කොටස් හිමියා වන, සේවක අර්ථසාධක අරමුදල රු. මිලියන 446.98 ක ලාභාංශයකට හිමිකම් කියනු ඇත. සේවක අර්ථසාධක අරමුදල සම්පත් බැංකුවේ කොටස් 38,041,260කට හිමිකම් කියනු ලබයි. ඔවුන් විසින් මෙම කොටස් ප්‍රමාණය මිල දී ගැනීම සඳහා ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 6,697.68 කි. සම්පත් බැංකුවේ කොටසක ගනුදෙනු මිල අද (14) පෙරවරුවේ දී රු. 167.40 ක් ලෙසින් දැක්වුණූ අතර ඒ අනුව එහි වෙළෙඳපොළ වටිනාකම මේ වන විට රු. මිලියන 6,368.11 ක් පමණ වේ.

    සම්පත් බැංකුවේ මෙම ලාභාංශ නිවේදනයෙන් වැඩි ප්‍රතිලාභ ලබන්නේ එහි ප්‍රමුඛ කොටස්කරුවා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් හිමිකාරීත්වය දරන වැලිබල් වන් සමාගමයි. වැලිබල් වන් සමාගම, සම්පත් බැංකුවේ කොටස් 57,039,028 කට හිමිකම් කියන අතර ඒ අනුව රු. මිලියන 670.21 ක ලාභාංශ ආදායමක් සම්පත් බැංකුවෙන්, වැලිබල් වන් සමාගමට ලැබෙනු ඇත.