අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජනවල වටිනාකම මාස 03 කදී රුපියල් කෝටි 1,000 කින් ඉහළට

    December, 30, 2020

    ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කර තිබෙන ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම 2020 තෙවන කාර්තුව තුළ දී රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1,000 කින් ඉහළ ගොස් තිබේ.

    අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් කොටස් 81 ක කර තිබෙන ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම 2020 සැප්තැම්බර් 30 දින වන විට රු. බිලියන 63.76 ක් ලෙසින් වාර්තා වේ. මෙම අගය 2020 ජූනි 30 දිනට දැක්වුණේ රු. බිලියන 53.58 ක් ලෙසිනි.

    මේ අනුව 2020 වර්ෂයේ තෙවන කාර්තුව අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොටස් වෙළෙඳපොළේ කර තිබෙන ආයෝජනවල සමස්ත වෙළෙඳපොළ වටිනාකම දෙවන කාර්තුව අවසානයේ දී සටහන් වූ අගයට සාපේක්ෂව රුපියල් බිලියන 10.14 කින්  වර්ධනය වී තිබේ.

    කෙසේ වෙතත් මෙම සමාගම් කොටස් 81 තුළ අරමුදල විසින් ආයෝජනය කර තිබෙන මුළු මුදල රුපියල් බිලියන 84.19 කි.

    ඒ අනුව 2020 සැප්තැම්බර් 30 දිනට සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම්වල කර තිබෙන ආයෝජනයන් හි උපලබ්ධි නොවූ අලාභය රු. බිලියන 20.64 ක් වේ.