අවින්‍යා පදනමේ සභාපති ධූරයට දුමින්ද්‍ර රත්නායක පත් කෙරේ

    November, 3, 2025

    ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ශිෂ්‍යත්වයන් ලබා දෙන ලාභ නොලබන, ලියාපදිංචි දානපති සංවිධානයක් වන අවින්‍යා පදනමේ නව සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක මහතා පත් කර ඇත.

    අවින්‍යා පදනමේ නිර්මාතෘ සහ WSO2 හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘවරයා ද වන ආචාර්ය සංජීව වීරවර්ණ මහතාගෙන් පසු ඔහු මෙම සභාපති ධූරයට පත්වී ඇත.අවින්‍යා පදනම විසින් බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

    සාම්ප්‍රදායික අධ්‍යාපන විෂය ධාරාවෙන් අසමත් වූ වයස අවුරුදු 18-25 අතර ඌන වරප්‍රසාදිත තරුණ තරුණියන් 21 වන සියවසේ අත්‍යවශ්‍ය කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම සඳහා වාර්ෂිකව පූර්ණ ශිෂ්‍යත්ව ලබා දෙනු ලැබේ. මෙම සිසුන්ට අවශ්‍ය ප්‍රායෝගික වෘත්තීය අත්දැකීම් ලබා දීම සඳහා අවින්‍යා ඇකඩමිය සම්පත් බැංකුව, සිංගර් ශ්‍රී ලංකා  Sensus BPO, MRS Recovery Services, ROOTS Sri Lanka, Jumping Beans Café, Carmart, Mo-cher Salon, Superloop TechHub, SPAR Supermarket සහ The Tea Project වැනි මේ සඳහා සහයෝගය දක්වන හවුල්කාර ආයතන සමඟ අත්වැල් බැඳගෙන ඇත.දුමින්ද්‍ර රත්නායක මහතා සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා දිවයින පුරා නොමිලේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබා දෙනු ලබන 1990 සුව සැරිය පදනමේ මෑතකාලීන හිටපු සභාපතිවරයාය.

    1990 පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ඔහු මූලික වූ අතර එහි ආරම්භක සභාපතිවරයා ලෙස දෙවරක් සේවය කරමින් දිවයිනේ සියලුම ප්‍රදේශවලට එම සේවාව ව්‍යාප්ත කිරීමට දායක විය.

    එමෙන්ම රත්නායක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති ධූරය සහ මෙරට පුරෝගාමී ජංගම දුරකථන සන්නිවේදන ජාලය වන එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ධූරයන් ද දරා ඇත. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ පිළිබඳ පළමු පන්තියේ උපාධියක් හිමිකරගෙන ඇති ඔහු ශ්‍රී ලංකා රජයේ ඉහළම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය වන තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ITC) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද සේවය කළේය.අවින්‍යා ඇකඩමියේ 2025 කණ්ඩායම දෙසැම්බර් මස මුලදී සිය උපාධිය හිමිකර ගනු ලබන්නේ  STEM.org පිළිගැනීම සහිත රැකියා කුසලතා, ඉංග්‍රීසි කුසලතා, පරිගණක කුසලතා, ගණිත කුසලතා සඳහා අවින්‍යා පදනමේ සහතිකයක් සහ පාරිභෝගික සේවා සඳහා TVEC NVQ 3 වන මට්ටමේ  සහතිකයක් සමඟින් ඔවුන්ගේ Empower ශිෂ්‍යත්ව වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසුවය.

    එමෙන්ම තෝරාගත් සිසුන් පිරිසකට මෙම වසරේ City & Guilds UK වෙතින් රැකියා නිපුණතා පිළිබඳ සහතිකයක් ද පිරිනමනු ලැබේ.2026 දී අවින්‍යා ඇකඩමිය ජනවාරි මාසයේදී එහි බලපෑම දෙගුණ කරමින් සිසුන් ප්‍රමාණය 120 දෙනෙකු දක්වා වැඩි කරමින් මාස 6 ක පූර්ණ කාලනී වැඩසටහන ආරම්භ කරනු ඇති අතර ඉන් අනතුරුව සිසුන් 120 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම ජූලි මාසයේදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ඇත. ඒ වෙනුවෙන් ඇකඩමියේ සියලුම පහසකුම් සහ සම්පත් එහි ප්‍රධාන දානපති ආචාර්ය සංජීව වීරවරණ විසින් නොමසුරුව පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවේ කුසලතා වැඩි දියුණු කිරීමට, අධ්‍යාපනය හැදෑරීමට සහ සාර්ථකත්වය අත්කර ගැනීමට පෙළඹවීමක් ඇතිවන පරිදි මෙම පරිත්‍යාගයන් සිදු කර ඇත.