අවිනිශ්චිත ඔයිල් පාම් ප‍්‍රතිපත්ති නිසා වැවිලි සමාගම්වලට රුපියල් මිලියන 500 ක පාඩුවක් අතළඟ

    August, 18, 2020

    මෙරට ඔයිල් පාම් වගාව මනා නියාමනයක් යටතේ සීමිත ලෙස ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන රජයේ ප‍්‍රතිපත්තියේ තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ මෙරට වැවිලි සමාගම්වලට මාස දෙකකින් පමණ රුපියල් මිලියන 500 ක අලාභයක් සිදුවනු ඇතැයි එම ක්ෂේත‍්‍රයේ ඉහළම සංගමය අනතුරු අඟවයි.

    පාම් ඔයිල් කර්මාන්ත සංගමය (POIA) සඳහන් කරන්නේ රජයේ තීරණය අනුව ඔයිල් පාම් වගාව පුළුල් කිරීම සඳහා ආනයනය කළ ඔයිල් පාම් පැල 356,000 ක් මේ වනවිට වසර තුනකට අධික කාලයක් පැල තවාන්වල මෝරමින් තිබෙන බවත් එයට හේතුව වී තිබෙන්නේ පුද්ගලික අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කිසිදු පදනමකින් තොරව මෙම වගාවට එරෙහිව අසත්‍ය කරුණු දක්වමින් විරෝධතාවයන් දක්වන පාර්ශවයන්ගේ මතය ගැන පමණක් සැලකිල්ල දක්වා තිබීම බවයි.

    ‘මෙම පැල වලින් 40% ක් පමණම දැනටමත් රෝපණය කළ නොහැකි තත්ත්වයට පැමිණ තිබෙනවා. රජය විසින් ඉතාමත් ඉක්මනින් මේ ගැටලූව විසඳන්නේ නැත්නම් මෙම පැල තොගයම ඉදිරි මාස දෙක තුළ විනාශ කර දමන්නට සිදුවනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් පාම් ඔයිල් කර්මාන්ත සංගමයේ සභාපති, ආචාර්ය රොහාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    පාම් ඔයිල් කර්මාන්ත සංගමයට වගාකරුවන්, පිරිපහදුකරුවන්, සැකසුම්කරුවන්, නිෂ්පාදකයින්, අලෙවිකරණ සමාගම් සහ පාම් ඔයිල් සහ අනිකුත් ඔයිල් පාම් නිෂ්පාදන අලෙවි සමාගම් ඇතුළත් වන අතර මෙම සමාගම් සමස්තයක් ලෙස මෙම කර්මාන්තයට රුපියල් බිලියන 26 ක පමණ ආයෝජනයක් සිදුකර තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වනවිට වගාකර තිබෙන්නේ ඔයිල් පාම් හෙක්ටයාර් 11,000 කටත් අඩු ප‍්‍රමාණයක් වන අතර එය මෙරට තේ, රබර් සහ පොල් වගාකළ භූමි ප‍්‍රමාණය සමග සසඳනවිට එම ඉඩම් ප‍්‍රමාණයෙන් 1% කට මඳක් වැඩි භූමි ප‍්‍රමාණයකි. රජයේ නිර්දේශයන්ට අනුව කැලෑ එළිපෙහෙලි කිරීමකින් තොරව ඉතාමත් දැඩි මාර්ගෝපදේශයන්ට සහ නියාමනයන්ට යටත්ව මෙරට ඔයිල් පාම් වගාව හෙක්ටයාර් 20,000 ක් දක්වා පුළුල් කිරීමේ අවසරය මීට පෙර ලබාදී තිබේ.

    මේ අනුව, ආචාර්ය ප‍්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ විදේශ විනිමය ඉතිරිකර ගැනීම සඳහා ආනයන සීමාකර තිබෙන මේ අවස්ථාවේදී මෙරට වැවිලි සමාගම්වල අලාභය අවම කරගනිමින් දේශීය පාම් ඔයිල් නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා මේ වනවිට තවාන්වල තිබෙන ප‍්‍රයෝජනයට ගතහැකි පැල වගාකිරීමට අවසරය ලබාදෙන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටින බවයි. මෙම පැල තවාන්වල තිබෙන සියළුම පැල වගා කළද මෙරට ඔයිල් පාම් වගාව පුළුල් වන්නේ හෙක්ටයාර් 2,750 කින් පමණක් බවද ඔහු සඳහන් කරයි.

    ‘රජය විසින් පොල් වගාව පුළුල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙනවා. ඒ පිළිබඳව අපිට සතුටුයි. නමුත්, මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය තෙල් ප‍්‍රමාණය දේශීය පොල් වලින් සම්පූර්ණ කර ගැනීමට අඩුම ගණනේ අවුරුදු 20 ක් පමණ කාලයක් ගතවනු ඇතැයි විශේෂඥයින් ගණනය කර තිබෙනවා,’ යනුවෙන් ආචාර්ය ප‍්‍රනාන්දු මහතා පැවසීය. ‘ඒ වගේම, පොල් තෙල් නිෂ්පාදනය සඳහා වැඩි පිරිවැයක් යන අතර ඒ සඳහා ඔයිල් පාම් වගාවට වඩා වැඩි ඉඩම් ප‍්‍රමාණයක්ද අවශ්‍ය වනවා.’

    ඔහු සඳහන් කරන්නේ පුද්ගලික අභිලාෂයන් ඉටුකර ගැනීම සඳහා කිසිදු පදනමක් නොමැතිව මෙරට ඔයිල් පාම් වගාවට එල්ල කරන චෝදනා නිසා මෙරට වසරට නිපදවන පාම් ඔයිල් ප‍්‍රමාණය ටොන් 23,000 කට පමණක් සීමාවී තිබෙන බවත් මෙරට පාම් ඔයිල් පරිභෝජන අවශ්‍යතාවය පියවා ගැනීමට වසරකට රුපියල් බිලියන 22 ක පමණ පිරිපහදු නොකළ පාම් ඔයිල් ටොන් 220,000 ක් පමණ මෙරටට ආනයනය කරන බවයි.

    විදේශ විනිමය ඉතිරි කරගනිමින් මෙරට ඔයිල් පාම් නිෂ්පාදනය වැඩිකිරීම සඳහා ඔයිල් පාම් වගාව දිරිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන තිබෙන තීරණයට අනුව මෙරට ඔයිල් පාම් වගාව පරිසරයට හානියක් නොවන පරිදි, කැලෑ එළිපෙහෙලි කිරීමකින් සහ ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනවත් වැවිලි බෝග ඉවත් කිරීමකින් තොරව දැඩි මාර්ගෝපදේශ යටතේ හෙක්ටයාර් 20,000 ක් දක්වා පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බව ආචාර්ය ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේවෙතත්, මේ සඳහා විරෝධතාවයන් දක්වන පාර්ශවයන් මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ උදාහරණයන් ගෙනහැර දක්වන අතර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මෙම රටවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බව පාම් ඔයිල් කර්මාන්ත සංගමය අවධාරණය කරයි. ශ‍්‍රී ලංකාව තුළ මෙම වගාව පුළුල් කරන්නේ කිසිදු කැළෑ එළිපෙහෙලි කිරීමකින් තොරව පරිසර හිතකාමී ලෙස බවත් පසුගිය වසර 50 ක් පුරා ශ‍්‍රී ලංකාව තුළ වගාකර තිබෙන්නේ ඔයිල් පාම් හෙක්ටයාර් 11,000 කටත් අඩු ප‍්‍රමාණයක් බවත් සංගමය පෙන්වා දෙයි.

    ප‍්‍රමිතිගත කටුපොල් තවානක් (වමේ) සහ ශී‍්‍ර ලංකාවේ කටුපොල් තවාන් වර්තමානයේ දිස්වන අයුරු.

     

    (මෙය පාම් ඔයිල් කර්මාන්ත සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි.)