අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත් වාහන තොග රට තුළ තිබෙනවා – මෝටර් රථ ආනයන සීමා කිරීම ගැන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියයි

    August, 25, 2020

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසර දෙකහමාරකට ප්‍රමාණවත් වන පරිදි වාහන තොග තිබෙන බවත් ආනයන සීමා පනවා තිබෙන්නේ රටට අනවශ්‍ය භාණ්ඩවලට බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. මෙහිදී ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ වාහන ආනයන කර්මාන්තය යනු තනිකරම විදේශ විනිමය රටින් පිටතට ඇදී යන කර්මාන්තයක් බවයි. ඊයේ (24) දෙරණ 360 සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා,

    “ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර් රථ. ලංකාවට ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 1,000 ත් 1,200 ත් අතර ප්‍රමාණයක්. නැව් පිටින් එන්නේ. එහෙම ඇවිල්ලා 2015-2019 කාලවල රටේ ගොඩගැහිලා තියෙන වාහන ස්ටොක් එක අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත්. ඔබට දැන් අවශ්‍ය නම් දැන් ගිහිං හොඳම වර්ගයේ වාහනයක් මිල දී ගන්න පුළුවන්. ගාණ වැඩිවෙන එක වෙනම ප්‍රශ්නයක්. ඒතරම් වාහන තොග තිබෙනවා.“

    “එතකොට අපි තවත් විදේශ විනිමය අර්බුදයකුත් තියාගෙන ආනයනය වැඩියි කිය කියා ඉන්නවා. මොනවාද මේ ගෙන්නන්නේ. වාහනයක් ගෙන්නලා රීකන්ඩිෂන් කරලා එක්ස්පෝර්ට් කළා නම් ඒකේ ලොජික් එකක් තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි. ඩොලර් බිලියන 1.2 ක් අරන්, ඊට පස්සේ ඒකට තෙල්, ස්පෙයාර් පාර්ට්ස් ගේන්න ඕනේ, සර්විස් ෆීස්, රෝයල්ටීස් ගෙවන්න ඕනේ. තනිකරම විදේශ විනිමය පිටතට යන කර්මාන්තයක්.“

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන විදේශීය අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවට අනුව 2020 ජූනි මාසයේ දී මෙරටට පෞද්ගලික රථවාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 9.2 ක් ලෙස සටහන්ව ඇත. මෙය 2019 ජූනි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන විදයම වූ ඩොලර් මිලියන 48.1 හා සැසඳීමේ දී 80.9% ක පහළ යාමකි. මේ අතර 2020 වසරේ පළමු මාස 06 තුළ මෙරටට ගෙන්වා ඇති පෞද්ගලික රථවාහන සඳහා කර ඇති වියදම ඩොලර් මිලියන 324.2 සිට ඩොලර් මිලියන 273.4 දක්වා 15.7% කින් අඩු වී තිබේ.

    2019 වසරේ දී ශ්‍රී ලංකාවට පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 815.7 ක් වන අතර 2018 වසරේ දී මෙම අගය දැක්වුණේ ඩොලර් මිලියන 1,573.5 ක් ලෙසිනි. මේ අනුව 2018 වසරට සාපේක්ෂව 2019 වසරේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම 48.2% කින් පහළ ගොස් ඇත. 2017 වසරේ දී ශ්‍රී ලංකාවට ගෙන්වූ පෞද්ගලික රථවාහනවල වටිනාකම ඩොලර් මිලියන 772.7 ක් වන අතර එය 2018 වසරේ දී ඩොලර් මිලියන 1,573.5 ක් දක්වා 103.6% කින් විශාල වැඩිවීමක් වාර්තා කර ඇත.