අහිතකර කෑම ගැනීම සහ නුසුදුසු ජීවන රටාව … ආහාර මාර්ගෝපදේශ වැදගත් වන්නේ ඇයි?

July, 31, 2020

කොවිඩ්-19 නැතහොත් කොරෝනා වයිරස වසංගතය ලෝපුරා පැතිර යන මෙවන් මොහොතක,  පුද්ගලයින් අතර ඇති ප්‍රතිශක්ති මට්ටම් පිළිබඳව අපි විසින් අපෙන්ම විමසා සිටීම ඉතා යෝග්‍ය වේ. සිරුරට මෙම වයිරසය ඇතුළුව සිටින අයගෙන් 5%ක් හා 10%ක් අතර සංඛ්‍යාවක් රෝගාතුර වන අතර, ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ජීවිතක්ෂයට පත්වී, බොහෝ දෙනෙකුට රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයිද යන්න, ඇසිය යුතු ප්‍රශ්නයකි.

ලොව මරණ පහකින් එකක් නුසුදුසු ආහාර හේතුවෙන් සිදු වන්නකි

2017 වසරේදී, ගෝලීයව සෑම මරණ පහකින් එකක් සිදුවූයේ සෞඛ්යදායී නොවන ආහාර හේතුවෙනි. පුද්ගලයෙකුගේ සමාජ ආර්ථික ස්ථරය කුමක් වූවත්, තරබාරුකම, රුධිර ග්ලුකෝස් ප්‍රමාණයන් ඉහළ යාම, රුධිර පීඩනය ඉහළ යාම, ලිපිද් ආකෘති ව්‍යාකුල වීම හා විවිධ පිළිකා වර්ග අඩු වයසකින්ම වැළඳීම සඳහා හේතුකාරක වන අවදානම් තත්වයක් ලෙස අධිපෝෂණය හැඳින්වේ.

ලෝපුරා රටවල් ගණනාවක් දැන් මන්දපෝෂණ තත්ව ත්‍රීත්වයකින් පීඩාවට පත්ව ඇත. අධිපෝෂණය (වැඩි සහ වැරදි ආහාර), මන්දපෝෂණය (අඩු ප්‍රමාණයෙන් හා අඩු ගුණයෙන් යුත් කෑම) හා ක්ෂුද්‍රපෝෂණ (විටමින් සහ ලෝහ ලවණ) ඌනතා මෙලෙස බහුලව දක්නට ඇති අතර, එතුලින් විවිධ සෞඛ්‍ය ගැටළු මතු වී ඇත. ගෝලීය වශයෙන් බෝනොවන රෝග තුළින් ආබාධිකත්වයට හා මරණයට පත්වීම සඳහා මුලික අවදානම් සහගත කරුණ වන්නේ, සෞඛ්යදායී නොවන ආහාර සහ සිත් නොගන්නා ජීවන රටාවන් වේ.

එවන් අහිතකර සෞඛ්‍ය තත්වයන්ගෙන් මිදී සිටීමටත්, ජීවන තත්වය ඉහළ නැංවීමටත්, පුද්ගලයෙකුගේ මුළු ජීවිත කාලය පුරාම නිසියාකාර ආහාර අත්‍යාවශ්‍ය වේ. සමබල ආහාර ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිය ද වැඩි වේ.

ආහාර පිළිබඳ උපදෙස් ශක්තිමත් කිරීම සඳහා ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කරමින් 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් මේ කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලදී.

ආහාර පිළිබඳ උපදෙස් සකස් කොට ඒවා සන්නිවේදනය කිරීම ශ්‍රී ලංකාව විසින් ආරම්භ කරන ලද්දේ වසර 2000 දීය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හා ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ සහායද ඇතිව, රටේ පවතින සෞඛ්‍ය හා පෝෂණ තත්වයන් ඇගයීමකට ලක් කර සෞඛ්‍යය අමාත්‍යංශය හා අනෙකුත් කොටස්කරුවන් විසින් දැනට මෙම නිර්දේශ සංශෝධනය කරනු ලැබේ.

ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා සමබල ආහාර වේලක් ගන්න

සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙක් මෙම වසංගතය පාලනය කිරීම සඳහා සහභාගී විය යුතු අතර, අනික් වෘත්තිකයින් හා ප්‍රජාවන් කළ යුතු වන්නේ මුළු මහත් ජනතාව අතර සිරුරේ අඩුවී ඇති ප්‍රතිශක්තිය නැවත ගොඩනගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. ආහාර වලින් පමණක් කොවිඩ්-19 රෝගය සෑදීම වලක්වාගත නොහැකි වූවත්, වැඩි ප්‍රතිශක්තියක් සඳහා සමබල ආහාර වේලක් ලබා ගැනීම වැදගත් වේ.

තමන්ගේ දුප්පත්-පොහොසත්කම කෙසේවෙතත්, ආහාර හිඟයක් නිසා හෝ සාගතයක් නිසා හෝ සුදුසු ආහාර ලබානොගන්නා හේතුවෙන් ඇතිවන මන්දපෝෂණය තුළින්, ප්‍රතිශක්තිය දුර්වල වන බව දැනට සොයාගෙන ඇති කරුණකි. ජීවිතාන්තය පුරාම ප්‍රබල ප්‍රතිශක්ති පද්ධතියක් වර්ධනය කොට පවත්වාගෙන යාම සඳහා සමහර විටමින් සහ අනෙකුත් පෝෂණ කොටස් වලින් නියත කාර්යභාරයක් ඉටුවේ.

සිරුර තුළ රෝග ඇති කරන බැක්ටීරියා සහ වයිරස් වලට විරුද්ධව සටන් කරන හමුදාව ප්‍රතිශක්ති පද්ධතියේ සුදු රුධිරාණුය. මෙම රුධිරාණු ශක්තිමත් කිරීමට හා සෛල ගණන වැඩි කිරීමට විටමින් A, D, B6, B12, ෆොලේට් සහ යකඩ, සීන්ක් වැනි ලෝහ ලවණවිටමින් C සහ E ද, තඹ, සහ සෙලීනියම් වැනි ලෝහ වර්ග තුළින් මෙම ප්‍රතිශක්ති පද්ධතියට හානිය අවම කෙරේ.

කෑම වේල කලින් සැළසුම් කරගන්න

සනීපාරක්ෂාව රැකගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් වනුයේ තමන් අනුභව කරන ආහාර සඳහා පෙර සුදානම් වීමයි. තමන්ගේ වේල සැලසුම් කිරීමේදී ප්‍රජාවන් මතක තබාගත යුතු කරුණු පිළිබඳව එක් එක් රටවල සෞඛ්‍ය අමාත්‍යාශ වලින් පහසුවෙන් මතක තබා ගත හැකි පණිවුඩ කිහිපයක්  ජනතාවට හඳුන්වා දී තිබේ. මේවා යහපත් සෞඛ්‍යය තත්වය හා පෝෂණය පිළිබඳව විවිධ තත්ත්ව යටතේ ලද සහ විද්‍යාත්මක කරුණු  පදනම්කොට නිර්මාණය කළ ඒවා වේ.

ආහාර නිර්දේශ සකස් කිරීමේදී මිල අඩුවීම, සමීපව හා පහසුවෙන් ලබාගත හැකිවීම, රසවත් වීම, සංස්කෘතික ගැලපීම, පරිසර හිතෛශීව නිෂ්පාදනය කිරීම හා අවම වශෙයන් සැකසීම (processing), යන කරුණු ගණනාවක් සැළකිල්ලට ගෙන ඇත. මේවා පැහැදිලි, සරළ හා නියත පණිවුඩ වන හෙයින්, ඒවා පහසුවෙන් මතකයේ රැඳෙන අතර, ක්‍රියාත්මක කිරීමටද පහසු වේ.

ආහාර මාර්ගෝපදේශ අනුව ඔබේ වේල සුදානම් කරගන්න

පුද්ගලයින්ගේ සහ ජනතාවන්ගේ ආහාර පුරුදු සහ ජීවන රටා වැඩි දියුණු කිරීම සඳහා එක් එක් රටවලට ආවේණිකවූ මෙම මාර්ගෝපදේශ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශිත එක් මෙවලමකි.  මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාමුව පෝෂණය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් අනුමත කරන ලදී.

ව්‍යායාමයත් වැදගත්

අප ආහාර අනුභව කිරීම මෙන්ම, එයින් ලැබෙන වැඩි අමතර ශක්තිය වැය කිරීමද වැදගත් වේ. අතීතයේ මෙන් නොව, අප බොහෝ දෙනා අද අසුන්ගෙන සිටින ජීවන රටාවකට හුරුවී සිටී. ඒ හෙයින් ව්‍යායාමයද අපේ දෛනික ජීවන රටාවේ කොටසක් විය යුතුය. ඕනෑම පුද්ගලයෙක් දිනකට පැය භාගයක්වත් නොනවත්වා ව්‍යායාම කළ යුතු වේ.

නිසි පෝෂණය ලබා ඔබත් දීර්ඝායු ලබන්න

මෙම ආහාර පිළිබඳ උපදෙස් නොහොත් ආහාර මාර්ගෝපදේශ 2020 ඔක්තොම්බර මස එළිදැක්වීමට නියමිතය. ජනතාව විසින් ඒවා ධනාත්මකව පිළිපදින්නේ නම්, ඉදිරි වසර 5ක් හෝ 10ක් අතර ලාංකිකයින්ට උසස් සෞඛ්‍ය තත්වයක් ලබා ගැනීමට හැකිවනු නිසැකය.