ආනයන සීමා කිරීම නිසා ජූනි මාසයේ දී රථවාහන ආනයන වියදම 80%කින් පහළට. ශීතකරණ සහ රූපවාහිනී ආනයන පහළ යද්දී ජංගම දුරකථන ආනයන වියදම් ඉහළට

    August, 17, 2020

    2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2020 වසරේ මැයි මාසය දක්වා සිදු වූ පහළ වැටීමේ ප්‍රවණතාවය වෙනස් කරමින් වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම 2020 වසරේ ජූනි මාසයේ දී ඉහළ ගිය ද, එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 24.6 කින් පහත වැටුණි. 2020 වසරේ ජූනි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,055ක් විය. 2020 වසරේ ජූනි මාසයේ දී සියලුම ප්‍රධාන ආනයන කාණ්ඩවල වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව පහත වැටුණු අතර, අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන වියදම විශාල වශයෙන් පහත වැටුණි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අයහපත් බලපෑම් අඩුකිරීමට රජය සහ මහ බැංකුව විසින් 2020 වසරේ මාර්තු මාසයේ සිට තෝරා ගත් භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ ඉන්ධන ආනයන වියදම විශාල වශයෙන් පහළ යෑම, ආනයන පුළුල් පරාසයක් තුළ අඩුවීම සඳහා දායක විය.

    අන්තර් භාණ්ඩ ආනයන අඩුවීම ආනයන වියදම පහත වැටීම සඳහා විශාල වශයෙන් දායක විය. 2019 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූනි මාසයේ දී ඉන්ධන ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර, ඒ සඳහා පිරිපහදු කළ ඛනිජ තෙල් සහ බොරතෙල් සඳහා වූ වියදම අඩුවීම හේතු විය. ආනයන පරිමාව අඩුවීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිල ගණන් පහත වැටීම ඉන්ධන ආනයන වියදමෙහි මෙම පහත වැටීමට හේතුවිය. බොරතෙල් බැරල් එකක සාමාන්‍ය සාමාන්‍ය ආනයන මිල පෙර වසරේ අනුරූප මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් 67.29 සිට 2020 වසරේ ජූනි මාසයේ සී එ.ජ. ඩොලර් 38.35 ක් දක්වා පහත වැටුණි.

    ප්‍රධාන වශයෙන් රෙදි හා කෙඳි වර්ග ආනයන පහත වැටීම හේතුවෙන් 2020 වසරේ ජූනි මාසයේ දී රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහත වැටුණි. කෙසේ වුවද 2019 වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම මාසයේ දී පොහොර (ප්‍රධාන වශයෙන් යූරියා), ඛනිජ නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් සිමෙන්ති ක්ලින්කර), සකස් නොකළ දුම්කොළ සහ කෘෂිකාර්මික යෙදවුම් (ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර) ආනයන වියදම ඉහළ ගියේය.

    සියලුම උපකාණ්ඩවල ආනයන පහත වැටීමත් සමඟ 2020 වසරේ ජූනි මාසයේ දී ආයෝජන භාණ්ඩ ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහත වැටුණි. ඒ අනුව, 2019 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූනි මාසයේ දී යන්ත්‍රසූත්‍ර හා උපකරණ (ප්‍රධාන වශයෙන් වෛද්‍ය හා රසායනාගාර උපකරණ), ගොඩනැගිලිද්‍රව්‍ය (ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ උපාංග) සහ ප්‍රවාහන උපකරණ (ප්‍රධාන වශයෙන් ටැංකි හා බවුස්‍ර වැනි වාණිජ කටයුතු සඳහා භාවිත කරනු ලබන රථවාහන) ආනයන වියදම පහත වැටුණි. කෙසේ වුවද, සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළ දී යන්ත්‍රසූත්‍ර හා උපකරණ කොටස් සිමෙන්ති ආනයන වියදම ඉහළ ගියේය.

    ආහාර හා පානවර්ග ආනයන වියදම ඉහළ ගියද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටීම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටුණි. ප්‍රධාන වශයෙන් 2020 වසරේ මාර්තු මාසයේ සිට ආනයන සීමා කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් 2020 වසරේ ජූනි මාසයේ දී රථවාහන ආනයන වියදම සියයට 80.9%කින් කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර, ප්‍රධාන වශයෙන් ශීතකරණ සහ රූපවාහිනී ආනයන පහත වැටීම හේතුවෙන් ගෘහ උපකරණ ආනයනය ද පහත වැටුණි. කෙසේ වුවද, 2020 වසරේ ජූනි මාසයේ දී බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත සහ විදුලි සංදේශ මෙවලම් (ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන) ආනයන වියදම ඉහළ ගියේය.

    මේ අතර, ආහාර හා පාන වර්ග ආනයන වියදම ඉහළ ගිය අතර, ඒ සඳහා මුහුදු ආහාර (ප්‍රධාන වශයෙන් කරවල), කිරි නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් කිරි පිටි), එළවළු (ප්‍රධාන වශයෙන් පරිප්පු), තෙල් හා මේදය (ප්‍රධාන වශයෙන් පොල්තෙල්) සහ කුළුබඩු (ප්‍රධාන වශයෙන් මිරිස් සහ කොත්තමල්ලි ඇට) ආනයනය ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතුවිය.

    2020 වසරේ ජූනි මාසයේ දී ආනයන පරිමා දර්ශකය සහ මිල දර්ශකය යන දර්ශක දෙකම පිළිවෙලින් සියයට 13.2කින් සහ සියයට 13.4කින් පහත වැටුණු අතර, 2019 වසරේ ජූනි මාසයට සාපේක්ෂව ආනයන පහත වැටීම සඳහා ආනයන පරිමාව මෙන්ම ආනයන මිල ගණන් පහළ යෑම ද හේතු වූ බව මෙයින් පිළිබිඹු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.