ආයෝජකයින්ගේ මතය Moody’s මතයට වඩා හාත්පසින් වෙනස් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    September, 30, 2020

    ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ හා LMD Business Confidence දර්ශකයේ වර්ධනය දෙස බැලීමේ දී මෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය මනාව පිළිබිඹු වන බවත්, එය Moody's ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (30) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody's විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B2 සිට Caa1 දක්වා පහළ දැමීමට කටයුතු කළ බව පසුගිය සැප්තැම්බර් 28 දින නිවේදනය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “අපි දන්නවා බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ දී විශාල අර්බුදයක් තිබුණා. පසුගිය මැතිවරණයෙන් පස්සේ ඒ අර්බුදය විසඳුනා. දැන් අපට තිබෙනවා හොඳ පදනමක්, මේ කටයුතු කරගෙන යන්නට. ඒ නිසා රට තුළ ආර්ථිකමය ප්‍රතිපත්තිවල ස්ථායිභාවයකුත් ඇතිවෙලා තියෙනවා. ඒ සමඟම දේශපාලනිකවත් ස්ථායිභාවයක් ඇතිවෙලා තිබෙනවා. ඒ පදනම ඔස්සේ අපිට ඉදිරියේ දී ගමන් කිරීමට තිබෙන ගමන වඩාත් පහසු වෙනවා.“

    “ඒක පෙන්නලා දෙන්න පුළුවන් කොටස් වෙළෙඳපොළේ තිබෙන වර්ධනය, ඒ සමඟම LMD Business Confidence Index වර්ධනයෙන් ඉතාම පැහැදිලි ලෙස පෙනී යනවා, මේ රටේ සහ ලෝකයේ සිටින ආයෝජකයන්ගේ මතය මේවායින් පිළිබිඹු වෙනවා. ඒකෙන් අපිට පෙනී යනවා බොහෝම පැහැදිලිව මේ රට යන දිශාව ගැන ඒ අයට තිබෙන මතය. ඒක ඉතාමත්ම වැදගත්. ඒ මතය අපිට පෙන්නලා දෙන්න පුළුවන් වෙන්නේ මූඩීස්ලාගේ මතයට වඩා හාත්පසින්ම වෙනස් වන බවයි.“