ආර්ථික කටයුතු අසාමාන්‍ය අයුරින් සිදුවන කාලයක දී ඒවා ගණනය කිරීමට නවීන ක්‍රමවේද අවශ්‍යයි – ආචාර්ය නන්දලාල් වීරසිංහ

    August, 24, 2020

    සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන කාලයක දී සාමාන්‍ය පරිදි යොදා ගන්නා දර්ශක භාවිත කරමින් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ ද අසාමාන්‍ය කාලයක දී පෙර කී සාමාන්‍ය දර්ශක ඇසුරෙන් එය ගණනය කිරීමේ දී දුර්වලතාවයක් දැකිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය කාලයේ දී වැඩ කරන ආකාරයේ යම් වෙනසක් සිදුවූ බවත්, නිවසේ සිට රාජකාරි කරන ආකාරය දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ දී ඇතුළත් කර ගන්නා ආකාරය පිළිබඳ අපගේ ගණනය කිරීම්වල ඇතුළත් නොවන්නට ඇති බවත්ය. පසුගිය ද ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය. 2020 වසරේ පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ අගයයක් ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “පුරෝකථනය රඳා පවතින්නේ ඊට පෙර කාර්තුවල සත්‍ය වශයෙන් සිදු වූ දේ මත. අපි කලින් 1.5 ක් බලාපොරොත්තු වුණු අවස්ථාවේ අපි හිතුවා පළමුවෙනි කාර්තුවේ අඩුම වශයෙන් 1.5ක පමණ වර්ධනයක් තිබිලා, දෙවැනි කාර්තුවේ දී අඩුවෙලා 3.5 - 4 කට විතර, ඊට පස්සේ සාමාන්‍යයෙන් නැවත තෙවන හා හතරවන කාර්තුවල වර්ධනයක් වෙයි කියලා. දැන් ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. දැන් පළමුවෙනි කාර්තුවේදීම සෘණ වෙලා තියෙනවා.“

    “දෙවන කාර්තුවේ බැලුවොත් අප හා සමාන අනෙක් රටවලත් විශාල වශයෙන් සියයට 8, 9, 10 සෘණ අගයයන් තමයි දැනට වාර්තා වෙන්නේ, ගොඩාක් දියුණු වෙමින් පවතින රටවලත් දෙවෙනි කාර්තුවේ දී. දෙවෙනි කාර්තුවේ දී තමයි ඉතාම බරපතළ විදියට ආර්ථික ක්‍රියාකාරකම් අඩුවුණේ. ඒ අවිනිශ්චිතතාවය නිසා තමයි අපට ස්ථිරවම මේ වෙලාවේ දෙයක් කියන්න අමාරු. හොඳම දේ තමයි අපි දෙවන කාර්තුවේත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත ආවාට පස්සේ, අපට වඩාත් නිවැරදි අදහසක් ගන්න පුළුවන් වෙයි ඊළඟ කාර්තු දෙකේ දී මොනවගේ තත්ත්වයක් ද කියලා. ඒ නිසා තමයි අපි දළ වශයෙන් සඳහන් කළේ අපට මේ වගේ තත්ත්වයක් වුණොත් අපට බිංදුවට හෝ සම තත්ත්වයට එන්න නම් දැන් තියෙන දත්තවල අනුව හතරවන කාර්තුවේ හොඳ ආර්ථික වර්ධනයක් වාර්තා කළ යුතුයි. අනෙක් අවිනිශ්චිත කාරණය තමයි දෙවන කාර්තුවේ අගය කුමක්ද කියන එක. ඒක සෘණ 4ද, සෘණ 8 ද කියන එක අනුව. 2021 වසර වන කොට ධන ආර්ථික වර්ධනයක් වෙයි කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන්. මේ තියෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ හරියටම අංකයක් කියන්න අමාරුයි.“

    “මේ වන විට දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වය බොහෝ දුරට යථා තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. විදේශ සංචාරකයින් පැමිණීම තාමත් බිංදුවයි. ඊට අමතරව විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණත් පසුගිය මාසයේ දී වැඩිවුණා. වාරාය ආශ්‍රිත කටයුතු, ජාත්‍යන්තර වෙළෙඳාම, අඩු මට්ටමක තිබුණත් ඒවා සාමාන්‍යයෙන් සිදුවෙනවා. එතකොට නැත්තේ ගුවන්තොටුපළ, ගුවන් ප්‍රවාහන කටයුතු, සංචාරක කටයුතු යනාදිය. නමුත් දේශීය ආර්ථිකය තමයි මුළු ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් සියයට 75ක් 80 ක් පමණ තියෙන්නේ. ඒ ප්‍රමාණය අපි දකිනවා සාමාන්‍ය පූර්ව කොවිඩ් තත්ත්වයට ආසන්න මට්ටමකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි හිතන්නේ තුන්වෙනි කාර්තුව අනිවාර්යයෙන්ම යම්කිසි ආකාරයක හොඳ ධන පැත්තකට එයි කියලා. හතරවෙනි කාර්තුව වෙනකොට ඒක ඊටත් වඩා එහාට යයි කියලා බලාපෙරොත්තු වෙන්න පුළුවන්.“

    “දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ ඇස්තමේන්තුවක්. ඒක එක එක විදියට දත්ත එකතු කරලා කරන ඇස්තමේන්තුවක්. සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් පවතින කාලයක දී සාමාන්‍යයෙන් තියෙන දර්ශක හරි. නමුත් ආසාමාන්‍ය කාලයක් තුළ දී අර සාමාන්‍ය දර්ශක තුළින්ම මනින්න ගත්තොත් අර මැනීමේ දුර්වලතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා.“

    “ලෝකයේ හැම රටේම දැන් තියෙන කතාබහක් තමයි මේ දිනවල ආර්ථික තීරණ ගැනීමට සහ මැනුම් කිරීමට යම්කිසි ආකාරයක වෙනස් ක්‍රමවේදයක් පාවිච්චි කිරීම අවශ්‍යයි. මොකද වැඩකරන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. නිතරම නවීකරණය වෙන ක්‍රමවේදයක් නැතිනම් පරණ ක්‍රමයටම මැනුම් කිරීමේ දී යම්කිසි කොටසක් මඟ හැරෙනවා.“

    “අපේ කොහොමත් තියෙන්නේ නැතුව ඇති, ගෙදර ඉඳන් වැඩ කරද්දී කොපමණ අගය එකතු කිරීමක් කළාද යන්න. ඒ වගේ දේවල් කෙටි කාලයක දී මැන ගැනීමට අපහසු දේවල්. ඒක නිසා තමයි අපි හිතන්නේ අපි දැකපු ආර්ථික වර්ධන වේගය සහ ඇත්තටම මැන්නට පස්සේ එන ආර්ථික වර්ධන වේගය අතර වෙනසක් තියෙන්නේ යම්කිසි ප්‍රමාණයක් මේකට ඇවිල්ලා නැහැ කියන මතයක් ගොඩනඟන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ දැනට මැන ගත නොහැකි මැන ගැනීමට අලුතෙන් සමීක්ෂණයක් කරලා හෝ දර්ශකයක් භාවිත කර හෝ මැන ගැනීම. එය විද්‍යාත්මක ක්‍රමයකට කළ යුතුයි. අනෙක් රටවල් කරන විදිය බලලා පිළිගත් ක්‍රමවේදයකට එය කළ යුතුයි. ඒ වගේම එම ක්‍රමවේදයේ පාරදෘශ්‍යභාවය ඉතා වැදගත්.“