ඇල්ලට ගිය කල

May, 13, 2019

පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකටම එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව සෘජුවම මෙරට සංචාරක ව්‍යාපාරය අඩපණ කරලන්නට හේතුවූවේය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ද මෙම ප්‍රහාරයන් හි ගොදුරු බවට පත්වීමත්, එයින් විදෙස් සංචාරකයින් 42 කට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීමත් හේතුවෙන් සංචාරකයින්ට මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව මෙරට රැඳී සිටි සංචංරකයින්ද හැකි වහාම ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට කටයුතු කළෝය.

තවද රටවල් 37 ක් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් Travel Advisory නිකුත් කර තිබීමත්, ඇතැම් රටවල් විසින් සංචාරය සඳහා ශ්‍රී ලංකාව අනතුරුදායක රටක් ලෙසින් වර්ගීකරණය කර තිබීමත් නිසා මෙරටට පැමිණීමට නියමිතය සිටි සංචාරකයින් විශාල වශයෙන් තම සංචාර අවලංගු කිරීමට පියවර ගත්තෝය.

මෙහි ප්‍රතිඵලයක් ලෙසින් අද වන විට මෙරට සංචාරක කර්මාන්තය මුහුණ පා ඇත්තේ දැඩි කණගාටුදායක අඩියකටය.

ශ්‍රී ලංකාවේ අතිශය ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වූ ඇල්ල, අද වන විට සංචාරකයින්ගෙන් ශූන්‍ය කලාපයක් බවට පත්ව ඇති බව අප එහි කළ නිරීක්ෂණයකින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි විය.

මෙම සංචාරයේ දී ඇල්ල ප්‍රදේශය තුළ ව්‍යාපාර සිදුකරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු හා ඒවායේ සේවකයින් විසින් අප වෙත මෙසේ අදහස් දැක්වීය. මෙම අදහස් දැක්වීම සම්බන්ධ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

“බෝම්බ පිපිරීමට ඉස්සෙල්ලා සංචාරකයින් ගොඩක් ආවා. ලොකු බිස්නස් එකක් තිබුණා. දැන් නං කිසි බිස්නස් එකක් නැහැ, දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් තමයි යන්නේ.“

“මගේ ලඟ සේවකයෝ 7 දෙනෙක් වැඩ කළා. දැන් 5 දෙනෙක් අයින් කරලා දෙන්නෙක් නිකං තියාගෙන ඉන්නවා.“

“වෙනදා බිස්නස් එකෙන් දහයෙන් එකක්වත් නැහැ දැන්“

“බිස්නස් ගැන නං කතාකරන්න දෙයක් නැහැ ඉතිං. අද කවුරුත්ම තාම නැහැ. අද විතරක් නෙමෙයි, මේ සිදුවීම දහසේ ඉඳන්ම කිසිම කෙනෙක් නැහැ. වෙනදට අපිට ගෙස්ට්ලා 150-200 ක් වගේ ඉන්නවා.“

“40 ක් විතර වැඩ කළා. දැන් 5-6 ක් තමයි තියං ඉන්නේ.“

“අද ගෙස්ට්ලා එක්කෙනෙක්වත් අහම්බෙන්වත් හොයා ගන්න බැහැ. හෝටල් සම්පූර්ණයෙන්ම වේලෙනවා. පෙළක් හෝටල් වහලා.“

“ඔය සිද්ධිය වෙන්න කලින් අපේ ගෙස්ට්ලාට වාඩිවෙන්නත් ඉඩක් නැහැ මෙතන. නමුත් අද බිංදුවටම බැහැලා.“

“සුද්දෝ නැහැනේ. වෙනදා මේ වෙලාවට පට්ට බිසී,“