ඉතිරිකිරීමේ බලාපොරොත්තු ඉහළ යද්දී දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් කඩා වැටෙයි

    February, 9, 2017

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 දෙසැම්බර් මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 දෙසැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2016 දෙසැම්බර් මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ 2016 නොවැම්බර් මාසය වනවිට මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු යම් පමණකට වර්ධනය වී තිබුණද නැවත වතාවක් 2016 දෙසැම්බර් මාසයේදී එම බලාපොරොත්තු බිඳ වැටීමයි. මේ අනුව, පසුගිය මාස කිහිපයේදී මෙරට ජනතාවගේ ආර්ථික අපේක්ෂාවන් දැඩිව වෙනස් වන ස්වභාවයක් පෙන්වන අතර දිගුකාලීනව ස්ථාවර භාවයක් දැකගත නොහැකිය. කෙස්වෙතත්, 2016 දෙසැම්බර් මාසයේදී 2016 නොවැම්බර් මාසයට සාපේක්ෂව ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව ස්ථාවර මට්ටමක පවතී.

    ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 12% ක පමණ මට්ටමක තිබූ අතර එය ගෙවුණු ඔක්තෝම්බර් මාසය වනවිට 9% ක් වැනි අගයක් දක්වා පහළ ගියේය. නමුත්, යළිත් මෙම අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේදී 12% ක මට්ටමක් දක්වා ඉහළ ගිය අතර 2016 දෙසැම්බර් මාසය වනවිටද එය විශාල වෙනසකට බඳුන් නොවී ඒ ආකාරයෙන්ම තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.

    මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සඳහන් කළේ 2017 වසරේදී මෙරටට පැමිණෙන සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණය ඉහළ යෑමෙන් බොහෝ රැකියා අවස්ථා බිහිවනු ඇති බවයි. මීට අමතරව, රජය විසින් හම්බන්තොට වරාය වෙනුවෙන් චීනය සමග ඇරඹීමට නියමිත ව්‍යාපෘතිය තුළින් නව කර්මාන්තශාලා 2400 ක් පමණ අළුතින් ඇතිවන බව රජය සඳහන් කළේය. එසේම, 2016 මුල් මාස නමය තුළදී රාජ්‍ය ආදායම ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 23% කින් වර්ධනය වූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. ගෙවුණු දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 152 ක් ඉක්මවා යෑමද දකින්නට ලැබුණ අතර කොළඹ කොටස් වෙළඳ පොළේ වසරේ අඩුම පිරිවැටුමද ගෙවුණු දෙසැම්බර් මාසයේදී වාර්තා කළේය.

    2016 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනයේ එතරම් වෙනසක් සිදු නොවූ අතර 2016 නොවැම්බර් මාසයේදී 4.1% ක් ලෙසින් පැවතුණු උද්ධමනය 2016 දෙසැම්බර් වනවිට ඉහළ ගොස් තිබුණේ 4.2% ක් දක්වා සුළු ප්‍රමාණයකිනි. මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ගණන් ඉහළ යාමයි. ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. ඒ සඳහා හේතුවූයේ නව රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාව තුළ වර්ධනය වූ ඉහළ බලාපොරොත්තුවයි. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

    විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සැලකීමේදී පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ හිඟය පුළුල්වී තිබීම කැපී පෙනේ. මෙයට හේතුවී තිබෙන්නේ අපනයන වර්ධනය සුළු වශයෙන් සිදුවන විට ආනයන වියදම එයට වඩා වර්ධනය වීමයි. කෙසේවෙතත්, 2016 ඔක්තෝම්බර් මාසයේදී විදේශීය ශ්‍රමිකයින් විසින් මෙරටට එවූ ප්‍රේෂණ සහ සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් දකින්නට ඇත.

    මේ අතර, 2016 මුල් මාස දහය තුළ මෙරට අපනයන ආදායම 2015 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 2.6% කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනාවරණය කරයි. මේ සඳහා තේ සහ කුළුබඩු අපනයන වලින් ලැබුණු ආදායම අඩුවීමද හේතුවක් වී තිබේ. කෙසේවෙතත්, මෙරට අපනයන වලට 48% ක පමණ දායකත්වයක් දක්වන ඇඟලුම් අපනයන අදායම 2016 මුල් මාස දහය තුළදී වර්ධනය වී ඇත. 2016 දෙසැම්බර් මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම ඇතුළු ජනතාවගේ අනිකුත් ආර්ථික අපේක්ෂාවන් කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2016 දෙසැම්බර් මාසයේදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. මෙම අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේද ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ මෙන්ම එතරම් වෙනස් නොවී ස්ථාවර ස්වභාවයක් පෙන්නුම් කළ අතර ගෙවුණු දෙසැම්බර් මාසයේදී එය 15% ක මට්ටමකට වර්ධනය වී තිබීම කැපී පෙනේ. වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී මෙම අපේක්ෂාවද ඉතාමත් ඉහළ තත්ත්වයක තිබුණි. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    කෙසේවෙතත්, 2016 ආර්ථික අපේක්ෂා දර්ශකයේ නොවැම්බර් මාසයේදී කැපී පෙනුණු කාරණයක් වූයේ එසේ බිඳ වැටුණු අපේක්ෂාවන් යළිත් වර්ධනය වීමයි. නමුත්, මෙවර 2016 දෙසැම්බර් සමීක්ෂණය මගින් පෙනෙන්නේ මෙම බලාපොරොත්තුව යළිත් බොහෝ සේ කඩා වැටී තිබෙන ආකාරයයි. (03 වන ප්‍රස්ථාරය බලන්න)

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.