ඉදිරි වසර 5 දී ලැයිස්තුගත සමාගම් 500 ක ඉලක්කයක් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    September, 17, 2020

    දැනට දෙසිය ගණනක්ව පවතින කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව ඉදිරි වසර 5 තුළ දී 500 ක් දක්වා ඉහළ නංවා ගැනීමට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට හැකියාව ඇති බව මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (17) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පරිශ්‍රයේ දී පැවති කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ ක්‍රමවේදය ජනගත කිරීම උත්සව අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “වසර ගණනාවක් පුරාවට මේ කොටස් වෙළෙඳාපොළේ ඇති සමාගම් ප්‍රමාණය තිබෙන්නේ එකම මට්ටමක. පසුගිය වසර 30 තුළ කොටස් වෙළෙඳපොළේ සමාගම් කොපමණ තිබෙනවා දැයි අසන හැම වෙලාවකම අපි කියන්නේ දෙසිය ගණනක ඉලක්කමක්. නමුත් ඊළඟ වසර 5 තුළ දී අපි කැමතියි පන්සිය ගණනක ඉලක්කමක් කතාකරන්න. මම හිතන්නේ ඔබට එය කරන්න පුළුවන්.“

    “2014 වසර අවසාන වන විට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 25ක්. 2019 වසර අවාසනය වන විට කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා එම අගය එයින් භාගයක මට්ටමට පැමිණියා. ඩොලර් බිලියන 12.5 ක්. එය දැවැන්ත කඩා වැටීමක්.“