ඉන්ධන වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාවට ගොඩ යා හැකි නම්.. – මැතිවරණ කොමිසමේ සභාපති

    July, 30, 2020

    ශ්‍රී ලංකාවට සිංගප්පූරුව මෙන් ඉන්ධන වෙළෙඳාම හරහා විදේශ විනිමය ඉපයීමට විශාල අවස්ථාවක් ඇති බව මැතිවරණ කොමිෂං සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මහ මැතිවරණ දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිෂ්පාදිත විෂබීජහරණ දියර ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

    විෂබීජහරණ දියර ලීටර ලක්ෂ 5 ක ප්‍රමාණයක් මැතිවරණ කොමිසම වෙත ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එම්.යූ. මොහොමඩ් මහතා මෙහිදී කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ  මැතිවරණ කොමිෂං සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,

    “තෙල් බිංදුවක්වත් නිෂ්පාදනය නොකරන සිංගප්පූරුව වගේ රටක්, තෙල් ප්‍රතිනැව්ගත කිරීමෙන් නැත්නම් විකිණීමෙන් ඔවුන් උපයන ආදායම අතිවිශාලයි. අපි හරියට දිව්වොත්, අපිට ටැංකි ඉතුරු ටිකත් අරහෙන් හරි අරගෙන ගබඩා කරගෙන අපට පුළුවන් නම් ගෙනල්ලා, අපට තෙල් සුද්ධ පවිත්‍ර කරලා, අපට විකුණන්න පුළුවන් නම්, අපිට ඒකෙන් අපේ රටට, අපි හැමෝම හිතන් ඉන්න තේ සහ (පොල් රබර් දැන් නැහැනේ), නැත්තන් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමයි, තේවලින් ලැබෙන ආදායමයි, ඇඟළුම් සහ සංචාරක කර්මාන්තයේ කියන ආදායම් තුනට ප්‍රධාන වශයෙන්, ඒ ලෙවල් එකටම මේ ඛනිජ තෙල් අපනයන හරහා, සකස් කරන ලද ඉන්ධන අපට අපනයනය කරගන්න පුළුවන් නං සිංගප්පූරුව වගේ, අපේ රටෙන් ගියපු මිනිස්සුත් එයි එකතු වෙලා වැඩ කළොත්“.

    මෙම විෂබීජහරණ දියර එක් ලීටරයක්, ජලය ලීටර 100 කට මිශ්‍ර කළ හැකිවේ. කෑන් එකක අඩංගු විෂබීජහරණ දියර ප්‍රමාණය ලීටර 5කි. ඒ අනුව එක් ඡන්ද පොළකට මෙයින් ලීටර 10ක්වත් අවශ්‍ය නොවන බව මැතිවරණ කොමිෂං සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    ඡායාරූපය - ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එම්.යූ. මොහොමඩ් මහතා විසින් සංකේතාත්මකව විෂබීජහරණ දියර අඩංගු කෑනයක් මැතිවරණ කොමිෂං සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාර දුන් අවස්ථාව.