ඉහළ නගින උද්ධමනය ඉතිරිකිරීමේ බලාපොරොත්තු තවදුරටත් බිඳ දමයි. දූෂණය අඩුවන බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 පෙබරවාරි මාසය

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 පෙබරවාරි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 පෙබරවාරි මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව තවදුරටත් වර්ධනය වී තිබෙන බවයි. මෙය ධනාත්මක තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2017 ජනවාරි මාසයේදී ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව ඉහළ නැගුණි. මේ අනුව, 2017 පෙබරවාරි මාසයේදී මෙම අපේක්ෂාව තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව පෙනේ.

මෙම අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේදී 12% ක මට්ටමක් දක්වා ඉහළ ගිය අතර 2016 දෙසැම්බර් මාසය වනවිටද එය විශාල වෙනසකට බඳුන් නොවී ඒ ආකාරයෙන්ම තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.

රජය විසින් හම්බන්තොට වරාය වෙනුවෙන් චීනය සමග ඇරඹීමට නියමිත ව්‍යාපෘතිය තුළින් නව කර්මාන්තශාලා 2400 ක් පමණ අළුතින් ඇතිවන බව රජය සඳහන් කර තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රසාදය පලකළ බව පසුගිය ජනවාරි මාසයේදී වාර්තා විය. කෙසේවෙතත්, ගෙවුණු පෙබරවාරි 23 වනදා වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් රුපියල් 154.21 ක් ලෙස සටහන් වූ අතර එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පහළට ගොස් තිබෙන බව අනාවරණය විය.
කෙසේවෙතත්, ජනවාරි 11 වනදා යුරෝපා සංගමය විසින් නිළ වශයෙන් නිවේදනය කළ පරිදි ජී.එස්.පී. තීරුබදු සහනය ලංකාවට යළිත් වරක් 2017 මැයි මාසය පමණ විට ලැබෙනු ඇතැයි විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගී ඇත.

මේ අතර 2017 ජනවාරි මාසයේදී 6.5% ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගිය උද්ධමනය 2017 පෙබරවාරි මාසය වනවිට 8.2% ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇත. එසේම, 2017 ජනවාරි මාසයේදී මෙරටට යළිත් වරක් වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබූ අතර එය 2016 ජනවාරි මාසය සමග සැසඳීමේදී 12.9% ක වර්ධනයකි. එසේම, පසුගිය කාලයේදී පහළ ගිය තේ මිල ගණන් යළිත් වර්ධනය වන ප්‍රවණතාවයක්ද මේ වනවිට ඇතිවී ඇත. ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. ඒ සඳහා හේතුවූයේ නව රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාව තුළ වර්ධනය වූ ඉහළ බලාපොරොත්තුවයි. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

PEOI-Feb-01

2016 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ අංශය මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර තිබේ. අපනයන ආදායම වර්ධනයට වඩා ආනයන වියදම සැලකිය යුතු ලෙස වැඩිවීම නිසා 2016 දෙසැම්බර් මාසයේදී මෙරට වෙළඳ හිඟය තවදුරටත් පුළුල් වී තිබේ.
2016 දෙසැම්බර් මාසයේදී මෙරට අපනයන අදායම 2015 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.7% කින් වර්ධනය වී ඩොලර් මිලියන 859 ක්වී තිබේ. 2017 පෙබරවාරි මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම ඇතුළු ජනතාවගේ අනිකුත් ආර්ථික අපේක්ෂාවන් කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.
ඉතිරි කිරීමට තිබෙන හැකියාව

ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2017 පෙබරවාරි මාසයේදීද කැපී පෙනෙන ලෙස පහළ බැස තිබේ.

2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙය 2017 ජනවාරි මාසයේදීද පහළ ගිය අතර උද්ධමනය අඛණ්ඩව වර්ධනය වීම මෙයට හේතුවී ඇතැයි සිතිය හැකිය. 2017 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස පැවති උද්ධමනය 2017 පෙබරවාරි මාසය වනවිට 8.2% ක් දක්වා වර්ධනය වී තිබේ.
වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී මෙම අපේක්ෂාවද ඉතාමත් ඉහළ තත්ත්වයක තිබුණි. (02 වන ප්‍රස්ථාරය බලන්න)

PEOI-FEB-02

දූෂණය අඩුවන බලාපොරොත්තු

වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

2016 දෙසැම්බර් සමීක්ෂණය මගින්ද පෙනුණේ මෙම බලාපොරොත්තුව පහළ ගොස් තිබෙන ආකාරයයි. නමුත්, 2017 ජනවාරි මාසයේදී දූෂණය අඩුවේ යැයි ජනතාව තුළ තිබෙන අපේක්ෂාව යළිත් කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත්කිරීම මේ සඳහා හේතුවන්නට ඇත.
මේ වනවිට, මෙම කොමිසමේ කටයුතු කරගෙන යන අතර මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු 2017 පෙබරවාරි මාසයේදී තවදුරටත් ඉහළ නැග තිබීම කැපී පෙනේ. (03 වන ප්‍රස්ථාරය බලන්න)

PEOI-Feb-03

ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.