ඊයේ බැඳුම්කර වෙන්දේසියේ දී මහ බැංකුව වැඩිපුර ලංසු අනුමත කරලා

    April, 5, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ බැඳුම්කරවල වටිනාකමට වඩා වැඩිපුර ලංසු අනුමත කර තිබේ.

    මෙහිදී 2021 හා 2024 යන වසරවලදී කල්පිරෙන පරිදි රුපියල් මිලියන 4,000 බැගින් වූ භාණ්ඩාගාර බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබුණු අතර එහිදී ලැබුණු ලංසු අතරින් 2021 බැඳුම්කර සඳහා රුපියල් මිලියන 5,520 ක් සහ 2024 බැඳුම්කර සඳහා රුපියල් මිලියන 5,960 ක් වන පරිදි ලංසු භාර ගෙන ඇත.

    මේ අතර 2026 වසරේ දී කල්පිරෙන රුපියල් මිලියන 3,500 ක බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද එහිදී ලැබී තිබුණු ලංසු කිසිවක් භාර ගෙන නැත.

    කෙසේවෙතත් පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර වෙන්දේසිවල විනිවිදභාවය තවදුරටත් ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, එහි එක් පියවරක් ලෙසින් ඉදිරිපත් කරනු ලබන බැඳුම්කර වටිනාකමට වඩා ලංසු භාර ගැනීම අත්හිටුවා තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියේය.

    මීට පෙර 2015 හා 2016 වසරවල දී වාර්තා වූ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවල දීද ප්‍රධාන චෝදනාව වූයේ වෙන්දේසි සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩිපුර බැඳුම්කර ලංසු අනුමත කළේ ඇයිද යන්නයි.

    පහත දැක්වෙන්නේ ඊයේ පැවති බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.