උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම් වැඩිවෙලා?

July, 16, 2020

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ කාලය අවසන් වීමත් සමඟම, රත්‍රං උකස් තැබීම් හි වැඩිවීමක් සිදුවෙතැයි අපේක්ෂා කළද, එම කාලපරිච්ඡේදයේ දී එසේ උකස් තැබීම් වැඩිවීමක් මෙන්ම, උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම්වල ද ඉහළ යාමක් දක්නට ලැබුණු බව LB ෆිනෑන්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා පවසයි. අදාල කාලපරිච්ඡේදය තුළ දී ජනජීවිතය අඩාල වීමත් සමඟම, ජනතාව වැඩිවශයෙන් රත්‍රං උකස් අත්තිකාරම් ලබා ගැනීම සඳහා යොමුවූ බවට වාර්තාවීම සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර වශයෙන් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ LB ෆිනෑන්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා,

“පසුගිය කාලයේ දී රත්‍රං උකස් තැබීම වැඩිවුණා. ඒ වගේම බේරා ගැනීමත් වැඩිවුණා. ඒක හරි පුදුම තත්ත්වයක්. අපට පළමු වතාවට තමයි එවැනි අත්දැකීමක් ලැබුණේ. අපි හිතුවේ ඇඳිරි නීති කාලයෙන් පසුව, ජනතාව පළමුවෙන්ම රත්‍රං උකස් තැබීමට පැමිණෙයි කියලා. ඒ වගේම උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීම් විශාල වශයෙන් අඩුවෙයි කියලා. හැබැයි වුණේ ඒක නෙමෙයි. ලෝක වෙළෙඳපොළ් රන් මිල වැඩිවීමත් සමඟම, ප්‍රථම වතාවට රන් පවුමක මිල රුපියල් ලක්ෂය ඉක්මවා ගියා. ඒත් සමඟ රන් උකස් සඳහා දෙන අත්තිකාරම් ප්‍රමාණයද වැඩිවුණා. මීට සමානුපාතිකව මිනිස්සු උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගත්තා.“

“මෙහිදී වක්‍රාකාරයෙන් හොඳ පණිවුඩයත් ලැබෙනවා. අපි හිතාගෙන ඉන්නේ, මිනිස්සු ඔවුන්ගේ රන් භාණ්ඩ උකස් තබන්නේ පරිභෝජන (consumption) අවශ්‍යතා වෙනුවෙන් කියලා. ඇත්තටම බැලුවොත් ජනතාව තමන්ගේ රන් භාණ්ඩ උකසට තබා මුදල් අරගෙන තිබෙන්නේ පරිභෝජන අවශ්‍යතාවලට පමණක්ම නොවෙයි. ඔවුන් එසේ කරලා තිබෙන්නේ, කුඩා පරිමාණයේ working capitol purposes (කාරක ප්‍රාග්ධන අවශ්‍යතා) සපුරා ගන්න. ඇත්ත කාරණය තමයි රන් ණය, එහෙමත් නැතිනම් උකස් කියන එක මිනිස්සු යොදා ගන්නේ working capitol purposes වලට. එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් පරිභෝජනය සඳහා උකස් තබන පිරිසක් ඉන්නවා. ඇත්තම කාරණය මිනිස්සු රත්‍රං උකස් කර මුදල් ගන්නේ පරිභෝජන අවශ්‍යතා සඳහා පමණක්ම නොවෙයි. වැඩි ප්‍රතිශතයක් ගන්නේ කෙටිකාලීන මුදල් අවශ්‍යතා වෙනුවෙන්.“