උසස් පෙළ සමතුන් අතර රැකියා වියුක්තිය ඉහළට

    October, 10, 2019

    ශ්‍රී ලංකා ශ්‍රම බලකායෙන් 420,231 ක් මේ වන විට රැකියා වියුක්තියෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් 188,428ක්ම උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම්වලින් යුක්ත අය බවත් පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බලකා කාර්තුමය වාර්තාව පෙන්වා දේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දෙවන කාර්තුවේ සිදුකරන ලද සමීක්ෂණය ඇසුරින් මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙම වාර්තාවට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් සක්‍රීය ජනගහනය 8,623,249 කි. ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහනය 7,775,509 ක් බව එහි වැඩිදුරටත් දැක්වේ.

    මෙම වාර්තාව අනාවරණය කරනු ලබන වැදගත් කරුණක් නම් අ.පො.ස. උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති කාණ්ඩයේ විරැකියා අනුපාතිකය 9.5%ක් බවයි. ශ්‍රී ලංකාවේ මුළු රැකියා වියුක්ති අනුපාතිකය 4.9%කි. අ.පො.ස. සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටමක් ඇති අය අතර විරැකියා අනුපාතිකය 2.5%ක් වන අතර සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති අය අතර රැකියා වියුක්තිය 6.5% ක් බව එහි සඳහන් වේ.

    තවද 2019 පළමු කාර්තුවේ දී 4.7%ක්ව පැවති විරැකියා අනුපාතිකය 2019 දෙවන කාර්තුව වන විට 4.9%ක් දක්වා වැඩි වී ඇත.