උස්වත්ත නවතම බිස්කට් කර්මාන්ත ශාලාව අගමැති රනිල් අතින් විවෘත කෙරේ

    June, 23, 2018

    මෙරට පැරණිතම රසකැවිලි සමාගම වන වසර 63ක පමණ ඉතිහාසයක් ඇති උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් සිය නවතම කර්මාන්ත ශාලාව, බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ දී අද විවෘත කළේය. අති නවීනතම තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම බිස්කට් නිපදවීම සඳහා ඉදිකරන ලද්දකි. මෙරට බිස්කට් වෙළඳ පලට පිවිසීම සඳහා උස්වත්ත විසින් ඉදිකළ මෙම කර්මාන්ත ශාලාව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වූ අතර මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

    උස්වත්ත සමාගමේ නිර්මාතෘවරයා වූ පී. ජේ. සී පෙරේරා (ක්‍රිස්ටි) මහතා තුළ දීර්ඝ කාලයක් පැවති මෙරට පාරිභෝගික ජනයාට තත්වයෙන් උසස් බිස්කට් සැපයීම සඳහා වන සිහිනය සැබෑ කිරීමක් ලෙස මෙම නවතම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ. උස්වත්ත සමාගමේ වර්තමාන සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ එස් . කුවින්ටස් පෙරේරා මහතා විසින් සිය මියගිය පියාණන්ගේ සිහිනය සැබෑ කිරීම සඳහා ඉතා සැලසුම් සහගතව වසර ගණනාවක් පුරා සැලසුම් කිරීමෙන් පසුව මනා විධිමත් සැලැස්මක් යටතේ මෙරට තරඟකාරී බිස්කට් වෙළඳ පළට පිවිසීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා තිබේ.

    දේශිය සහ විදේශිය විශේෂඥයින්ගේ උපදෙස් අනුව උසස් තත්වයේ බිස්කට් නිපදවීම සදහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ මෙරටට ආනයනය කර මෙම කර්මාන්ත ශාලාව තුළ පිහිටුවා තිබේ. මේ වන විට බිස්කට් නිෂ්පාදනය සදහා යොදාගන්නා ලොව හොඳම ලැමිනේටර් යන්ත්‍රය ආදී යන්ත්‍රෝපකරණ රැසකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විත වෙයි. එමෙන්ම මැනවින් උෂ්ණත්වය පාලනය කළ හැකි ස්වයංක්‍රියව ක්‍රියාත්මක ලොව උසස්ම තත්වයේ බේකිං අවන් එකකින් ද මෙම කර්මාන්ත ශාලාව සමන්විත වෙයි. උසස් තත්වයේ බිස්කට් නිෂ්පාදනය කිරීම සඳහා හයිබ්‍රිඩ් කලාප දෙකක් ඇතුළු සියලුම උසස් තත්වයේ තාක්ෂණික පහසුකම් මෙම බේකිං අවන් එක තුළ අන්තර්ගත වීම විශේෂත්වයකි.

    උස්වත්ත බිස්කට්ස් උසස් තත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ බිස්කට් වර්ග සෞඛ්‍යාරක්ෂිතව නිපදවීම කෙරෙහි ප්‍රමුඛතාව ලබාදී තිබේ. ස්වාභාවික රසයෙන් අනූන මෙම බිස්කට් සදහා යොදාගන්නා ස්වාභාවික රසකාරක එක්සත් රාජධානිය,ස්විට්සර්ලන්තය, සහ නෙදර්ලන්තය ආදී රටවල ප්‍රමුඛ සමාගම් වලින් ආනයනය කර බිස්කට් නිපදවීම සඳහා යොදාගනු ලබයි.

    මෙම නව කර්මාන්ත ශාලාව පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ උස්වත්ත සමාගමේ සභාපති එස්. කුවින්ටස් පෙරේරා මහතා කියා සිටියේ ආරම්භයේ සිටම සිය සමාගම උසස් තත්වයේ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සහනදායි මිලකට පාරිභෝගිකයින් වෙත ලබාදීමේ අරමුණ ඇතිව කටයුතු කර ඇති බවයි. එලෙස හඳුන්වා දුන් බොහෝ නව නිෂ්පාදන මේ වනවිට සෑම වයස් කාණ්ඩයකම සෑම පරපුරකම තේරීම බවට පත්ව ඇති බව පෙන්වා දුන්නේය. මෙම නව කර්මාන්ත ශාලාව මඟින් සිය සමාගම බිස්කට් වෙළඳ පළ වෙත පිවිසීම සිදුකරන බවත් ඉතා ඉක්මනින් පාරිභෝගිකයා අතර ජනප්‍රිය වන තත්වයෙන් උසස් බිස්කට් වර්ග නිපදවීමට එමගින් අවස්ථාව හිමිවනු ඇති බවටත් ඒ ඔස්සේ සිය පාරිභෝගිකයින් වෙත නව රසවත් අත්දැකීමක් තිළිණ කිරීමට හැකිවනු ඇති බවටත් හෙතෙම විශ්වාසය පළ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ 2015 වසරේදී දිය සමාගම ආයතනික කාර්යාල සංකීර්ණය හා කර්මාන්ත ශාලාව බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශය වෙත රැගෙන ආ බවයි. එම ප්‍රදේශවාසී ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට එමඟින් මහත් පිටුබලයක් ලැබුණු බවද හෙතෙම පැවසීය. එම ප්‍රදේශයේ පදිංචි සියගණනක් වූ පිරිසකට සෘජු රැකියා අවස්ථා පිරිනැමීමට මෙහිදී තමන්ට හැකිවූ බව කුවින්ටස් පෙරේරා මහාත සඳහන් කළේය. එමෙන්ම අවුරුදු, වෙසක් වැනි ජාතික උත්සව අවස්ථාවලදී ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් එම ප්‍රදේශයේ පාසැල් ආදිය නගා සිටුවීමට දායක වෙමින් උස්වත්ත සමාගම ප්‍රදේශවාසීන් සමඟ සමාජ මෙහෙවර රැසක නිරත වන බවද හෙතම පෙන්වා දුන්නේය. පාසැල් සිසුන්ට තමන් ඉතා කැමති රසකැවිලි සකස් කරන ආකාරය නැරඹිම සඳහා අනිකුත් රසකැවිලි කර්මාන්ත ශාලා හිමිකරුවන් ලබා නොදෙන කර්මාන්ත ශාලා නිරීක්ෂණ චාරිකා ආදිය ලබා දෙමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමට ද සමාගම කටයුතු කර ඇති බව එහි සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙරට උසස් තත්වයේ සෞඛ්‍යාරක්ෂිත රසකැවිලි හා ස්නැක්ස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන උස්වත්ත කන්ෆෙක්ෂනරි පුද්ගලික සමාගම වසර 63ක දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙරට පැරණිතම රසකැවිලි නිෂ්පාදන සමගම වේ. TipiTip, Wafers, Glucorasa, Peppermint, Glucolife, Jolly Jelly (Jelly Crystals), March-Mallows සහ Fruit Candles ආදී නිෂ්පාදන තුළින් මෙරට ජනයාගේ විශ්වාසය දිනූ උස්වත්ත සමාගම වර්ෂ 1956 දී සහෝදරයින් දෙදෙනෙකු වන ක්‍රිස්ටි පෙරේරා සහ ඇන්ටන් පෙරේරා යන දෙදෙනාගේ මූලිකත්වයෙන් පිහිටවූ සමාගමක් වන අතර වර්ෂ 1961 දී රත්මලාන කේන්ද්‍රකරගනිමින් කර්මාන්ත ශාලාවක් අරඹා කටයුතු කළ සමාගමකි. උස්වත්ත සාමගමේ ප්‍රථම සහ ප්‍රමුඛතම නිෂ්පාදනය ලෙස ග්ලූකෝරස හැඳින්විය හැකි අතර සෑම වයස් කාණ්ඩයකම ශ්‍රී ලාංකික පාරිභෝගිකයා වසර ගණනාවක් තිස්සේ ග්ලූකෝරස රස විඳිමින් සිටිති. වසර 2009 සිට උස්වත්ත සමාගම වත්මන් සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ එස් . කුවින්ටස් පෙරේරා මහතාගේ දුර්දර්ශි නායකත්වය යටතේ උපායමාර්ගික දිශාවක් කරා ගමන් කරමින් සිටියි.

    එමෙන්ම දිවයින පුරා විහිදුනු අලෙවි හා බෙදාහැරීම් ජාලයක් උස්වත්ත සමාගම සතුව ඇති අතර සෑම උස්වත්ත නිෂ්පාදනයක්ම 80,000 කට අධික අලෙවි සැල් ජාලයක් තුළින් අලෙවි කරනු ලබයි. තවද උස්වත්ත සමාගම කැනඩාව, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඉතාලිය, ප්‍රංශය, සී ෂෙල්ස් හා මාලදිවයින යන රටවලට සිය නිෂ්පාදන අපනයනය කරනු ලබයි.