එක්ස්පෝලංකා ඩොලර් මිලියන 2.2කට ඇමරිකාවේ ලොජිස්ටික්ස් සමාගම් 3 ක් මිල දී ගනී

    March, 15, 2021

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ හිමිකාරීත්වය දරන සමාගමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ EFL Global LLC විසින් එරට ලොජිස්ටික්ස් ව්‍යාපාරයේ නිරත සමාගම් 3 ක් මිල දී ගැනීමට කටයුතු කර තිබේ. මේ සඳහා ආයෝජනය කර තිබෙන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.2 කි.

    Seville Container Freight Station Inc., Seville Freight Systems Inc., සහ Seville Transfer Ltd යන සමාගම් තුනේ 100%ක කොටස් හිමිකාරීත්වය මේ අනුව EFL Global LLC  විසින් අත්පත් කර ගෙන තිබේ.

    Seville යනු එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළ තුළ උපක්‍රමික වශයෙන් ඉහළ වැදගත්කමකින් යුතු බන්ධිත බහාලුම් නැව් බඩු මධ්‍යස්ථානයකින් (Bonded Container Freight Station) හා බන්ධිත ට්‍රක් (Bonded Trucking) සේවා සැපයුම් සමාගමකින් සමන්විත වූවකි.

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ - සමූහ මූල්‍ය, මුස්ටාක් අහමඩ් මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් වැඩිදුරටත් කිය සිටින්නේ 2021 මාර්තු 01 දින මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සිදු වූ බවයි.