එමිරේට්ස් විසින් දරුවන්ගේ සංචාරක අත්දැකීම ආකර්ශනීය තලයකට රැගෙන යයි

September, 10, 2019

සම්මානනීය ගුවන් සමාගම 2018-19 වසරේදී ළමා සංචාරකයින්ට සෙල්ලම් බඩු, Lonely Planet Kids® බෑග්, සඟරා සහ තවත් භාණ්ඩ මිලියන 8.4 කට වැඩි ප‍්‍රමාණයක් තෑගි කරයි

ලොව සුපතල එමිරේට්ස් ගුවන් සේවයෙන් පසුගිය වසරේ සංචාරය කළ කුඩා දරුවන් සහ තරුණ දරුවන්ට සිය විදේශීය සංචාරය වඩාත් ආකර්ශනීය එකක් බවට පත්කරමින් වැඩිහිටියන්ගේද ආදරය දිනාගැනීමට සමත් සෙල්ලම්බඩු මිලියන ගණනක් බෙදාදීමට කටයුතු කළේය.

ලෝකයේ විශාලතම ගුවන් සමාගම වන එමිරේට්ස් ගුවන් සේවය විසින් මෙම කණ්ඩායම සඳහා ඉතාමත් ජනප‍්‍රිය ‘Fly with Me’ සෙල්ලම් බඩු මාලාව යටතේ සත්ත්ව චරිත 17 ක් ඇතුළත් සෙල්ලම් බඩු බෙදාදුන් අතර මේවා සඳහා කුඩා දරුවන් සහ තරුණ දරුවන් දැඩි ලෙස ආකර්ශනය වී ඇත.

මහද්වීප හයකට අයත් ගමනාන්ත 140 කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙත සංචාරය කරන එමිරේට්ස් Lonely Planet Kids® සමග එක්ව සිය ගුවන් යානාවල ගමන් කරන දරුවන්ට වර්ණවත් සෙල්ලම් බඩු වලට අමතරව විනෝදාස්වාදය සහ දැනුම ලබාදීම සඳහා ක‍්‍රියාකාරකම් කට්ටල බෑග්, එමිරේට්ස් බේබි කිට්ස්, සඟරා සහ පාට පැන්සල් පිරිනමයි.

මේ අනුව, සමාගම විසින් 2018-19 වසරේදී ‘Fly with Me’ ළමා සෙල්ලම් බඩු සහ Lonely Planet බෑග් මිලියන 4.7 ක් සහ ‘Fly with Me’ සඟරා සහ පාට පැන්සල් කට්ටල මිලියන 3.7 ක් එමිරේට්ස් තුළින් සංචාරය කළ අවුරුදු 12 ට අඩු දරුවන්ට පිරිනමා තිබේ. පවුලේ සියළු දෙනාටම එක්ව සංචාරය කිරීමේදී පි‍්‍රයතම ගුවන් සේවය එමිරේට්ස් බව මෙමගින් යළි යළිත් ඔප්පුකර ඇත.

මෙම කාලයේදී ගුවන් සේවය විසින් ළමා ආහාර වේල් 609,000 ක් ලබාදී තිබෙන අතර කොළඹ සිට ඩුබායි දක්වාත්, ඩුබායි සිට කොළඹ දක්වාත් ගුවන් ගත වූ දරුවන් සඳහා ආහාර වේල් 13,524 ක් පිළිගන්වා තිබීම කැපී පෙනේ.

‘අපගේ ගුවන් යානා මගින් සංචාරය කරන දරුවන්ට අපි අමතර සුව පහසුවක් සහ වින්දනයක් ලබාදෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු චන්දන ද සිල්වා මහතා පැවසීය. ‘කුඩා දරුවන් සමග සංචාරය කිරීම දෙමව්පියන්ට වගේම තරුණ පිරිස් වලට අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. මේ නිසයි, දරුවන්ට සංචාරය කිරීම මිහිරි අත්දැකීමක් බවට පත්කිරීමට අප දැඩි උත්සාහයක් ගන්නේ. අපි විසින් දරුවන්ට ලබාදෙන සේවා තුළින් විනෝදාස්වාදය සහ අධ්‍යාපනය ලැබෙන ලෙස ඒවා දියුණු කිරීමට වැඩි කැපකිරීමක් සහ ආයෝජනයක් එමිරේට්ස් විසින් සිදුකරනවා. මෙය විශේෂයෙන්ම ඉකොනොමි පන්තියේ ගමන් කරන මගීන්ට කැපී පෙනෙන අගය එකතු කිරීමක් බව කිව යුතුයි.’

එමිරේට්ස් විසින් දරුවන් ඉලක්ක කර සිදුකරන නිෂ්පාදන ඉතාමත් කුඩා ළදරුවන් වෙනුවෙන් පවා නිෂ්පාදනය කර ඇත.
අවුරුදු 3-6 ක් දක්වා දරුවන්ට පේ‍්‍රහේලිකා, ක‍්‍රීඩා සහ ස්ටිකර් ඇතුළත් කට්ටලයක් ලබාදෙන අතර දුර ගමන් සංචාර වලදී ළදරුවන්ට ක‍්‍රියාකාරකම් සහිත දෙආකාරයකින් භාවිතා කළ හැකි සෙල්ලම් බඩු ලබාදෙයි.

මීට අමතරව, පේ‍්‍රහේලිකා, විහිළු සහ ක‍්‍රියාකාරකම් ඇතුළත් අවුරුදු 03 සිට 08 ක් දක්වා දරුවන් ඉලක්ක කරගත් ‘Fly with Me’ සඟරා දරුවන්ට එමිරේට්ස් ගුවන් යානා තුළදී ලබාදෙයි.

අවුරුදු 02 සිට 12 ක් දක්වා දරුවන්ට ගුවන් යානය තුළදී රසකැවිලි අසුරණයක් ලබාදෙන අතර එහි ඔවුන් පිනවන ආහාර අඩංගුකර ඇත. තම දරුවන්ගේ ආහාර රටාව වෙනස් නම් ගුවන් ටිකට් පත් වෙන්කර ගන්නා අවස්ථාවේදී එම දරුවන් වෙනුවෙන් විශේෂ ආහාර පාන ඇනවුම් කිරීමේ අවස්ථාවද එමිරේට්ස් විසින් ලබාදී තිබේ.

කුඩා දරුවන්ට ලබාදෙන සේවාව තවත් පුළුල් කරමින් එමිරේට්ස් ගුවන් සේවයේ සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතිය මගින් ලබාදෙන නාලිකා 4000 කට ආසන්න ප‍්‍රමාණයෙන් නාලිකා 100 කට වැඩි ප‍්‍රමාණයක් කුඩා දරුවන් සඳහා ළමා නාලිකා ලෙස වෙන්කර තිබෙන අතර මේවා භාෂා 40 කින් විකාශ කටයුතු කරයි.

එමිරේට්ස් සමාගම 1986 වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරන අතර කොළඹ සිට සතියකට ගුවන් වාර 28 ක් ක‍්‍රියාත්මක කරමින් ගමනාන්ත 158 ක ජාලයක් සමග ශ‍්‍රී ලංකාව සම්බන්ධ කර තිබේ. සමාගම විසින් අති නවීන Boeing 777-300ER යානා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් යොදා තිබෙන අතර ගුවන් මගීන්ට ප‍්‍රණීත කළාපීය ආහාර පාන සහ සිය බහුජාතීය සේවක මණ්ඩලය තුළින් ඉහළ ආගන්තුක සත්කාරයක් ලබාදෙයි.