එමිරේට්ස් සමූහය 2019-20 මූල්‍ය ප‍්‍රතිඵල නිවේදනය කරයි

May, 19, 2020

  • පිට පිටම 32 වන වසර සඳහාත් ලාභ ලබමින් එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 1.7 ක (ඇමරිකානු ඩොලර් මිලියන 456 ක) ලාභයක් වාර්තා කරයි.
  • පෙර වසරේ ලාභයට වඩා 21% ක වර්ධනයක් වාර්තා කරමින් එමිරේට්ස් ගුවන් සේවය ඩිරාම් බිලියන 1.1 ක (ඇමරිකානු ඩොලර් මිලියන 288 ක) ලාභයක් ලබාගනී.

2019-20 පළමු කාර්තුවේදී සැලසුම් කළ පරිදි ඩුබායි ගුවන් තොටුපළේ ධාවන පථයක් වසා දැමීම නිසා මෙහෙයුම් කටයුතු අඩුවීම සහ හතරවන කාර්තුවේදී ලෝකය පුරාම ව්‍යාප්ත වූ කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ආදායම් අඩුවී තිබුණත් පිට පිටම 32 වන වරටත් ලාභයක් වාර්තා කිරීමට එමිරේට්ස් සමූහය සමත්වී තිබේ.

2020 මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී ඩිරාම් බිලියන 1.7 ක (ඇමරිකානු ඩොලර් මිලියන 456 ක) ලාභයක් එම සමූහය වාර්තා කර ඇති අතර එය පෙර වසරේ ලාභයට වඩා 28% ක අඩුවීමකි. පෙර වසරේ ආදායම් වලට සාපේක්ෂව සමූහයේ මේ වසරේ ආදායම් 5% කින් අඩුවී තිබෙන අතර ඩිරාම් බිලියන 104.0 ක (ඇමරිකානු ඩොලර් මිලියන 28.3 ක) ආදායමක් සලකා බලන වසරේදී සමූහය ලබාගෙන තිබේ.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය. ‘2019-20 මූල්‍ය වසරේ මුල් මාස 11 තුළදී එමිරේට්ස් සහ dnata ඉතාමත් ඉහළ කාර්ය සාධනයක් පෙන්නුවා. ඒ අවස්ථාවේදී අපගේ ව්‍යාපාරික ඉලක්ක ළඟාකර ගත හැකි මට්ටමක අපි සිටියා. නමුත්, පෙබරවාරි මැද කාලය වනවිට කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා සියල්ල වෙනස් වුණා. මෙම වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල් විසින් සංචාරක තහංචි පැනවීම නිසා හදිසියේම ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා කරන්නට සිදුවුණා.’

‘වසංගත තත්ත්වයක් නොමැති අවස්ථාවක වුවත් බාහිර සාධක අපගේ කර්මාන්තයට අහිතකර ලෙස බලපානවා. 2019-20 වසරේදීත් ලෝකයේ ප‍්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම නිසා ඩිරාම් බිලියන 1.0 කට ආසන්න ලාභයක් අපට අහිමිවී තිබෙනවා. මේ වසරේදී ගෝලීය ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය යම් අඩු මට්ටමක තිබුණු අතර අපගේ ප‍්‍රධාන වෙළඳපොළවල තරගකාරීත්වය වඩාත් වැඩිවුණා.’

සමූහයට අයත්වන අනුබද්ධ සමාගම් 120 ක සේවකයින් 105,730 දෙනෙකු පමණ සේවය කරන අතර එම ප‍්‍රමාණය සලකා බලන කාලයේදී නොවෙනස්ව පැවතුණු අතර මෙම සේවක සාමාජිකයින් ජාතීන් 160 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කිරීම කැපී පෙනේ.

ෂික් අහමඞ් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘කොවිඞ්-19 වසංගත තත්ත්වය අපගේ 2020-21 මූල්‍ය වසරේ කාර්ය සාධනයට දැවැන්ත ලෙස බලපානු ඇතැයි අප විශ්වාස කරනවා. මාර්තු 25 වනදා සිට එමිරේට්ස් මගී ගුවන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ අතරම, ලෝකය පුරාම ගුවන් ගමන් අඩුවීම නිසා dnata හි ව්‍යාපාරික කටයුතු ද අඩුවී තිබෙනවා. මේ තත්ත්වය මාස 18 ක් විතර පවතිනු ඇතැයි අප ඇස්තමේන්තු කර තිබෙනවා.’

2019-20 මූල්‍ය වසරේ දෙවන සහ තුන්වන කාර්තු වලදී එමිරේට්ස් ගුවන් සමාගමේ ආදායම් වර්ධනය වුවත් පළමු කාර්තුවේ ඩුබායි ගුවන් පථය වසා දැමීමට සිදුවීම සහ හතරවන කාර්තුවේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් 6% කින් අඩුවී සමස්ත ආදායම ඩිරාම් බිලියන 92.0 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 25.1 ක්) වී තිබේ. මේ අතර, අමරිකානු ඩොලරය එමිරේට්ස් ගුවන් සේවයේ ප‍්‍රධාන වෙළඳපොළවල භාවිතා කරන මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත්වීම නිසා ඩිරාම් මිලියන 963 ක (ඇමරිකානු ඩොලර් මිලියන 262 ක) පාඩුවක් සමූහයට සිදුවිය. මෙය පසුගිය වසරේදී මේ ආකාරයෙන් ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම නිසා සිදුවූ ඩිරාම් මිලියන 572 ක (ඇමරිකානු ඩොලර් මිලියන 156 ක) ප‍්‍රමාණයට වඩා වැඩි අලාභයකි.

මෙම ක්ෂේත‍්‍රයේ තරගකාරීත්වය වර්ධනය වීම සහ ඩොලරය ශක්තිමත්වීම නිසා ඇතිවූ අවාසිදායක තත්ත්වය හමුවේ වුවද එමිරේට්ස් ගුවන් සමාගම සලකා බලන මුදල් වසරේදී ඩිරාම් බිලියන 1.1 ක (ඇමරිකානු ඩොලර් මිලියන 288 ක) ලාභයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 21% ක වර්ධනයක් මෙන්ම ලාභ ආන්තිකයේ 1.1% ක වර්ධනයක් නියෝජනය කරයි.

මේ අතර, සලකා බලන වසර තුළදී එමිරේට්ස් විසින් රැගෙන ගිය සමස්ත ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 56.2 ක් දක්වා 4% කින් අඩුවී ඇත.

කෙසේවෙතත්, මූල්‍ය වාර්තා සැසදීමේදී පෙනී යන්නේ එමිරේට්ස් කළාප 06 මගින් ලැබූ ආදායම් සමබර මට්ටමක පවත්වා ගැනීමට සමාගම සමත්වී තිබෙන බවත්ල කිසිදු කළාපයකින් 30% කට වැඩි දායකත්වයක් සමස්ත ආදායම් සඳහා ලැබී නොමැති බවයි. මෙහිදී, බටහිර ආසියාවේ සහ ඉන්දියානු සාගර කළාපයේ ආදායම් 4% කින් වර්ධනය වී ඩිරාම් බිලියන 9.8 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක්) වී තිබේ.

සලකා බලන මුදල් වසර තුළ තිබූ අතිශය තරගකාරී වෙළඳපොළ වාතාවරණය තුළ වුවද එමිරේට්ස් ස්කයිකාර්ගෝ ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්වා තිබෙන අතර ගුවන් සමාගමේ සමස්ත ප‍්‍රවාහන ආදායම් වලින් 13% කට දායකවීමට සමත්වී තිබේ. සලකා බලන මුදල් වසරේදී ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනයේ තිබූ මන්දගාමීත්වය හේතුවෙන් එමිරේට්ස් කාර්ගෝ අංශයේ ආදායම් පෙර වසරට සාපේක්ෂව 14% කින් අඩුවී ඩිරාම් බිලියන 11.2 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක්) වී ඇත.