ඔයිල් පාම් වගාව: අපි කොතැනට ද?

August, 16, 2021

මහාචාර්ය කේ.කේ.අයි.යූ. අරුණකුමාර​ විසිනි

ඔයිල්  පාම් වගාව ලංකාවේ සීමාකර ඇත. මෙම සීමාකිරීමට ප්රධානතම හේතුව ලෙස දක්වන්නේ එම වගාව මගින් පරිසරයට සිදුවිය හැකි යැයි සැලකෙන අහිතකර බලපෑම් ය. කෘෂිකර්මය යනු මිනිසා මැදිහත් වී ඇතිකරන පරිසර පද්දතියක්වන බැවින් ඕනෑම වගාවක් මගින් ස්වභාවික පරිසරයට කිසියම් බලපෑමක් ඇති නොවනවා නොවේ. එසේ හෙයින් වගාව සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ සාපේක්‍ෂ වාසි අවාසි සියල්ලක්ම සලකා බැලීමෙන් අනතුරුවය. අප රටේ ප්‍රධාන බෝගය වූ වී වගාව සැලකූ  විටද පරිසරයට වන්නේ හානියක්ම මිස වාසියක් නොවේ. ලොව උණුසුම් කිරීමට දායකවන වායු විමෝචනයේ දී විශාලම දායකත්වය ලැබෙන්නේ ධාන්‍ය බෝගවලින් බව නොරහසකි. එසේ වුවද අප එම වගාවෙන් ඉවත් වන්නේද? නැත.  එබැවින් කිසියම් තීරණයක යථාර්තවාදී බව සලකා බැලිය යුත්තේ ඒ හා බැඳුනු බොහෝ සාධක සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය. ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් ද තත්වය එලෙසමය. ඔයිල් පාම් වගාකරන ප්රධාන රටවල පවතින තත්වයන් මෙහිලා වැදගත්වේ. එවන් සලකා බැලීමක් සඳහා සුදුසුම රටක් ලෙස මැලේසියාව ගත හැකිය. අප රටට අවශ්ය පාම් තෙල් ඇතුළු එම නිෂ්පාදන රාශියක්ම ආනයනය කරනු ලැබුවේ මැලේසියාවෙනි. එහි පවතින දේශගුණික තත්වයන් ද අප රටේ තත්වයන්ට බෙහෙවින් සමාන වේ. මැලේසියාවේ දළ ජාතික නිෂ්පාදිතයට කෘෂිකර්මයේ දායකත්වය 8.21% කි. ලංකාවේ එය 7.3% කි. මැලේසියාවේ මුළු භූමි ප්රමාණයෙන් 18% ක්ම එනම් හෙක්ටයාර් මිලියන 5.9 ක් යොදාගෙන ඇත්තේ ඔයිල් පාම් වගාව සඳහාය. එරට ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් ඇති ප්රධානම විවේචනය වන්නේ රටේ වන ගහනය සීඝ්රයෙන් අඩුවීමට ඔයිල් පාම් ව්යාප්තිය හේතු වූ බවයි. එසේ වුවද එහි යථාර්තය වන්නේ එරට භූමි ප්රමාණයෙන් 53.3% ක් එනම් හෙක්ටයාර් මිලියන 18.28 ක් තවමත් පවතින්නේ වනාන්තර වශයෙන් බවයි. පසුගිය වසර තිහක් වැනි කාලයක් මුළුල්ලේ වැඩි වශයෙන්ම සිදුවී ඇත්තේ එරට වෙනත් වගාවන් යටතේ පැවති භූමි විශාල වශයෙන් ඔයිල් පාම් වගාව සඳහා යොදා ගැනීමයි. වර්ෂ 1990 දී එරට රබර් වගාව යටතේ පැවති භූමි ප්රමාණය වූ හෙක්. මිලියන 1.837, වර්ෂ 2019 පමණ වන විට හෙක්. මිලියන 1.084 ක් දක්වා අඩු වී ඇත.  පොල් වගාව සම්බන්ධයෙන් අදාල අඩුවීම හෙක්. මිලියන 0.316 සිට හෙක්. මිලියන 0.084 ක් දක්වාය. ඒ අනුව වර්ෂ 1990 වනවිට වෙනත් වගාවන් යටතේ පැවති භූමිය හෙක්. මිලියන 1.365 ක් පමණ මේවන විට ඔයිල් පාම් වගාව සඳහා යොදා ගෙන ඇත. මෙලෙස පොල්, රබර් වැනි වෙනත් වැවිලි බෝගවලින් ඉවත් වෙමින් ඔයිල් පාම් වගාව ව්යාප්ත කිරීමට එරට කටයුතු කරමින් සිටින්නේ එමගින් වඩාත් හොඳ ප්රතිඵල අත්කර ගත හැකි නිසාවෙන් විය යුතුය. එරට දළ ජාතික නිෂ්පාදනයට ඔයිල් පාම්වලින් පමණක් ලැබෙන දායකත්වය 2.7% කි. මැලේසියාව තම ඔයිල් පාම් නිෂ්පාදනයෙන් 88% ක්ම අපනයනය කරයි. එමගින් මැලේසියානු රුපියල් බිලියන 64.8 ක වාර්ෂික ආදායමක් උපයා ගන්නා අතර පන් ලක්ෂ පන්සියයක් වැනි පිරිසකට රැකියා අවස්ථා ද ලබා දී ඇත. රටක ආර්ථික සංවර්ධනයට එක් බෝගයකින් පමණක් ඒසා විශාල දායකත්වයක් ලබාගත හැකි නම් එය සුවිශේෂී තත්වයකි.

ලංකාවද මැලේසියාවෙන් පාම් තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය ආනයනය කරන රටකි. මන්ද ආහාර පිසීමට මෙන්ම ආහාර ආශ්‍රිත හා වෙනත් කර්මාන්ත සඳහා අවශ්‍යවන තෙල් ප්‍රමාණයෙන් දේශීයව නිෂ්පාදනය කරගත හැක්කේ 17% ක් තරම් අඩු ප්‍රමාණයක් බැවිනි. ඉතිරි 83% ම ආනයනය මගින් සපුරා ගැනීමට අපට සිදු වී ඇත. ඒ සඳහා පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 37 ක් වියදම් කිරීමට සිදුවී ඇත. එනම් රටටම අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට වැය වූ මුදල් ප්‍රමාණයට වඩා වැඩි වියදමක් ඒ සඳහා දැරීමට සිදුවී ඇත. එලෙස ආනයනය කළ පාම් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 185 කි. එය වර්‍ෂ 2000 දී අප ආනයනය කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයකි. මෙලෙස වැඩි වශයෙන් ආනයනය කිරීමට සිදුවන්නේ වැඩිවන ඉල්ලුම සපුරාලීමට මෙරට පොල් වගාව අසමත් වී ඇති නිසාවෙනි. මෙරට පොල් නිෂ්පාදනයේ සාමාන්‍ය අගය (පසුගිය වසර 5 සැලකූ විට) වසරකට ගෙඩි මිලියන 2792 කි. ඉන් 65-70% ක් (ගෙඩි මිලියන 1,800) ගෘහ ආශ්‍රිතව පරිභෝජනය කෙරෙන අතර ඉතිරිය අපනයනය සඳහා යොදා ගැනේ. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය නවතා දමා එම පොල් ද තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගත්ත ද දේශීය අවශ්‍යතාවය සපුරා ගත නොහැක. පොල් වගාව වැඩි කිරීම සඳහා යොදාගත හැකි නව ඉඩම් ද ඇත්තේ නොවේ. එසේ හෙයින් කළ හැකිව ඇත්තේ ඒකීය භූමි ප්‍රමාණයකින් ලබා ගත හැකි තෙල් අස්වැන්න වැඩි කරගත හැකි ක්‍රමෝපායන් සම්බන්ධයෙන් සැලකිලිමත් වීමයි. Oil World (2020) ට අනුව පොල් වගා හෙක්ටයාරයකින් වර්‍ෂයකට ලබා ගත හැකි තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 0.32 කි. එහෙත් ඔයිල් පාම් හෙක්ටයාරයකින් තෙල් මෙට්‍රික් ටොන් 3.68 ක් ලබා ගත හැකිය. සෝයා බෝංචි සහ සූරියකාන්ත ගත්විට එම ප්‍රමාණයන් පිළිවෙලින් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.45 සහ 0.75 තරම් අගයයන් ය. ලෝක එළවළු තෙල් අවශ්‍යතාවයෙන් 31% ක්ම සපුරන මට්ටමට පාම් තෙල් නිෂ්පාදනය ඉහල ගොස් ඇත්තේ ඒ නිසාය. එසේ වුවද අප රට තුල ඔයිල් පාම් වගාව ව්‍යාප්තව ඇත්තේ හෙක්ටයාර් 12,000 ක් තරම් අඩු භූමි ප්‍රමාණයකය. තව දුරටත් එය ව්‍යාප්ත කිරීමට ද අවකාශ නැත. ඒ රාජ්‍ය ප්‍රතිපත්ති මගින්ම ව්‍යාප්තිය අහුරා ඇති නිසාවෙනි.

ඔයිල් පාම් වගාව නිසා ජල උල්පත් සිඳී යන්නේ නම් මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් මෙලහකටත් කාන්තාර බවට පත් වී තිබිය යුතුය. මන්ද මැලේසියාව පමණක් සැලකූ විට ඔයිල් පාම් වගාකර ඇති මුළු භූමි ප්‍රමාණය අපේ රටේ සම්පූර්ණ භූමි ප්‍රමාණයට දළ වශයෙන් ආසන්නය. නමුත් අප අත්විඳින සත්‍යය එය නොවේ. අප රටේ ඔයිල් පාම් වගාව ආරම්භ කර වසර පනහකටත් වැඩිය. එම වගාව මුලින්ම ආරම්භ කළ නාකියාදෙණිය වතුයාය ආශ්‍රිතව කිසිඳු වියළි තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැත. කාළගුණ විපර්යාස හේතුවෙන් ලොව පුරා මෙන්ම අපරට තුලද දක්නට ලැබෙන ඇතැම් වෙනස්කම්වලින් ව්‍යුක්ත වූ කිසිඳු වෙනස්කමක් නාකියාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා නොවේ. ඔයිල් පාම් ගසක් වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන බව සැබවින්ම සත්‍යයකි. එම ප්‍රමාණය ජල ලීටර් 249 කි. පොල් සහ රබර් ගසක් සැලකූ විට එම අගයයන් පිළිවෙලින් ලීටර් 130 සහ 63කි. එසේ වුවද වගාවක් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ ඒකීය භූමි ප්‍රමාණයකින් දිනකට වගාව සඳහා ලබා ගන්නා ජල ප්‍රමාණයයි. පොල් සහ රබර් සඳහා එම ප්‍රමාණයන් පිළිවෙලින් හෙක්. දිනකට ලීටර් 20,800 සහ 31, 500 පමණ වේ. ඔයිල් පාම් සඳහා එම අගය ලීටර් 34,860 කි. එනම් රබර් වගාවකට සාපේක්‍ෂව විශාල වැඩිවීමක් එහි දැකිය නොහැකිය. ඒ වගාවේ හෙක්ටයාරයක ඇති ගස් ප්‍රමාණය රබර්වලට සාපේක්‍ෂව අඩු බැවිනි. පාරිසරික හානිය සම්බන්ධයෙන් නැගෙන අනෙකුත් විවේචනවල ද සැබෑ තත්වය එලෙසමය. පරිසරය හා බැඳුනු ඇතැම් හිතකර තත්වයන් ද ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් ඇතිමුත් ඒ හා කතිකාවක් නැති තරම්‍ ය. උදාහරණයක් වශයෙන් ඔයිල් පාම් වගාවක ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් තිරකිරීම (64.5 t CO2/ha/yr), ස්වභාවික වැසි වනාන්තරයක එම අගයට (42.4 t CO2/ha/yr) වඩා වැඩිය. ප්‍රභාසංස්ලේෂණ කාර්යක්‍ෂමතාවය වැසි වනාන්තරයක 1.73% වුවද ඔයිල් පාම් වගාවක එය 3.18% තරම් ඉහල අගයකි. එසේ හෙයින් ගතයුතු වන්නේ වඩාත් ප්‍රායෝගික තීරණ මිස හුදු ජනප්‍රිය තීරණ නොවේ. වසරකට රුපියල් බිලියන ගණනක් වැයකරමින් අප රටට පාම් තෙල් ආනයනය නොකරන්නේ නම් සහ වඩා අඩු වියදමින් පරිසරය ද රැකගෙන රටට අවශ්‍ය එළවළු තෙල් රට තුළම නිපදවා ගත හැකිනම් ඔයිල් පාම් වගාව නවතා දැමීම යම් තරමකට හෝ සාධාරණය. එසේ නොමැතිව ආහාර ආනයනය කරන්නන් ගේ අතමිට වඩාත් සරුකරනු පිණිස පරිසර හානියට මුවා වී ගනු ලබන ඕනෑම තීරණයකින් අපරට ගෙන යන්නේ වඩාත් ආගාදයකටම මිස යහපත් දිශාවකට නොවේ.

මහාචාර් කේ.කේ.අයි.යූ. අරුණකුමාර​,

බෝග විද්යාව පිළිබඳ ජ්යේෂ්ඨමහාචාර්​,

රුහුණවිශ්වවිද්යාලය