ඔලිවර් ඉම්පෙක්ස් සමාගමෙන් ‘විජය සිමෙන්ති’ ශ්‍රී ලංකාවට

    March, 17, 2017

    ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඉල්ලූම සපුරාලීම අරමුණු කරගෙන ‘විජය සිමෙන්ති‘ නමින් නව සිමෙන්ති වර්ගයක් හඳුන්වා දීමට ඔලිවර් ඉම්පෙක්ස් (පුද්.) සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීත්වයේ නව පියවරක් වනු ඇති බව එම සමාගම පවසයි.

    විජය සිමෙන්ති හඳුන්වා දීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍ය ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා සහභාගී විය. එමෙන්ම දිවයිනේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සාමාජිකයෝ රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    මෙහිදී අදහස් දක්වමින් ඔලිවර් ඉම්පෙක්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ මොහොමඞ් සාලි මොහොමඞ් ෆාරිස් මහතා කියා සිටියේ තම සමාගමේ අරමුණ අනෙකුත් නිෂ්පාදන සමග තරග කිරීමේ නොව වෙළඳපොළේ ඇති අඩුපාඩුවක් සම්පූර්ණ කිරීම බවයි.

    එමෙන්ම මෙම අවස්ථාවේදී සමාගමේ නිල වෙබ් අඩවියද ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රධාන ලේකම් (ආර්ථික හා වාණිජ) රමේෂ් බාබු මහතා විසින් දියත් කරන ලදි.

    ඔලිවර් ඉම්පෙක්ස් සමාගම යනු විවිධාකාරයේ නිෂ්පාදන මෙරටට ආනයනය කර බෙදාහරින සමාගමකි. පසුගිය කාලය තුළ මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රය වේගයෙන් පුළුල් වීමත් සමග ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලූම දැඩි ලෙස ඉහළ යාම නිසා මෙසේ සිමෙන්ති මෙරටට ආනයනය කිරීමට සමාගම තීරණය කර ඇත. මෙම නිෂ්පාදන වඩාත් හොඳින් ජනතාවට සමීප කරවීම සඳහා පුළුල් ගබඩා පහසුකම් මෙන්ම ප‍්‍රවාහන හා බෙදාහැරීම් ජාලයක්ද ස්ථාපිත කිරීමට සමාගම කටයුතු කර තිබේ. බෙදාහැරීම් පරිශ‍්‍ර තුළද ගබඩා පහසුකම් ස්ථාපිත කිරීමට සමාගම පියවර ගනු ඇත.

    ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික හා ගෘහස්ථ අංශ වල ඉල්ලූම ඉහළ යාම නිසා මෙරට සිමෙන්ති අලෙවිය වේගයෙන් ඉහළ ගියේ ය. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ අවශ්‍යතා සපුරාලන අතරම රට සංවර්ධනය කිරීමේ උත්සාහයන් පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් විශේෂ ප‍්‍රතිපත්තිද සම්පාදනය කරන ලදි. ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබාදෙන ඉදිකිරීම් ක්ෂේත‍්‍රය රැකියා නිර්මාණය සඳහාද විශාල කාර්යභාරයක් ඉටුකරයි. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වර්ධනය නිසා ජාතික සංවර්ධන ක‍්‍රියාවලියටද විශාල දායකත්වයක් හිමිවනු ඇත.

    මෙසේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අලූතින්ම එක්වන විජය සිමෙන්ති ඉතාම උසස් ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් වන අතර 42.5 N ශක්ති පන්තියට අයත් එයට SLS 107 සහතිකයද හිමිවී තිබේ.

    මෙම සිමෙන්ති නිපදවන සමාගම වන ‘දල්මියා සිමෙන්ට් භාරත්’ සමාගමේ (ආරම්භය 1939) මවු සමාගම 1935 වසරේදී ආරම්භ කරන ලද්දේ ජායිදයාල් දල්මියා මහතා විසිනි. වසර 75 කට අධික ඉතිහාසයක් ඇති එම සමාගම මේ වනවිට නව කාර්මාන්තශාලා ස්ථාපිත කරමින් ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය වීමට සමත් වී තිබේ. අද වනවිට විශාල වෙළඳපොළ කොටසකට හිමිකම් කීමට සමත් වී ඇති එම සමාගම තෙල් ළිං, සිල්පර කොටන් සහ ගුවන් යානා ධාවන පථ ආදිය සඳහා භාවිතා කරන විශේෂ සිමෙන්ති වර්ග සැපයුමෙහි ප‍්‍රමුඛයෙකු ලෙස කීර්තියක් දිනා ඇත. 1993 දී එම සමාගම ISO 9002 සහතිකකරණය දිනාගත් දකුණු ඉන්දියාවේ ප‍්‍රථම සහ ඉන්දියාවේ දෙවන සිමෙන්ති සමාගම බවට පත්විය. එමෙන්ම 2004 වසරේදී සමාගම වෙත ISO 14001 සහතිකකරණය පිරිනමන ලදි.

    විජය සිමෙන්ති වෙළඳ නාමය යටතේ ශ‍්‍රී ලංකාවට උසස්ම තත්ත්වයේ සිමෙන්ති සැපයීම සඳහා දල්මියා සිමෙන්ට් භාරත්. සමාගම සහ ඔලිවර් ඉම්පෙක්ස් සමාගම අත්වැල් බැඳගෙන සිටී.