ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල නව බඳවා ගැනීම නිවේදනය කරයි

    April, 6, 2017

    ශ්‍රී ලාංකේය, නේපාල සහ ඉන්දීය සිසුන් හට ක්ෂේත්‍රයේ නව අවස්ථා විවර කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයීය ව්‍යාපාරික පාසලේ ප්‍රධානී මහාචාර්ය පෝල් මේතර් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම කොළඹ, කත්මණ්ඩු සහ ඉන්දියාවේ සංචාරයකට නිරත වූහ.

    ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් කලාපීය සිසුන්ගේ පවතින ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල පෙබරවාරි සහ ජුලි මාසවල අර්ධ වාර්ෂිකවලට අමතරව මේ වසරේ නොවැම්බර් මාසයේදී සිය ව්‍යාපාරික පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය සිදු කරන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය. ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල මීට වසර කිහිපයකට පෙර සිය පශ්චාද් උපාධි පාඨමාලාව සඳහා තෙවන අර්ධ වර්ෂයක් ද හඳුන්වා දුන් අතර එය ශ්‍රී ලාංකේය සිසුන් අතර අතිශය ජනප්‍රිය විය. ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් සහ රැකියා වෙළඳපොළේ නවත ම ප්‍රවණතාවලට අනුකූලවන ලෙස නව උපාධි වැඩසටහන් හඳුන්වා දී තිබීම ද විශේෂත්වයකි.

    "අපගේ කළාපය තුළ ප්‍රධාන රාජ්‍යයන් සමග සම්බන්ධ වීමට ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ කැපවීම, එහි ව්‍යාපාරික පාසල යළි ශ්‍රී ලාංකේය සිසුන් වෙත විවර වීමට හේතු වුණා. අපගේ උපාධිධාරීන් ලියාපදිංචිය, නව උපාධි වැඩසටහන් සහ ශිෂ්‍යත්ව හරහා මෙරට සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසලේ විශේෂඥ දැනුමින් සහ නවීනත ම තාක්ෂණයෙන් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවනු ඇත" යනුවෙන් මහාචාර්ය පෝල් මේතර් මහතා සඳහන් කළේය.

    ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය නවත ම ලෝක විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 200ක් පමණ ඉදිරියට පැමිණීමට සමත්ව සිටී. ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි 336වන ස්ථානයේ පසුවන ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය ඒ අනුව ලොව පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තුනෙහි ම ලොව ප්‍රමුඛත ම විශ්වවිද්‍යාල 400 අතර රැඳෙන බව මහාචාර්ය මේතර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල යළිත් වරක් උපාධි සහ පශ්චාද් උපාධි ජාත්‍යන්තර සිසුන් සඳහා සමස්ත පාඨමාලා ගාස්තුවෙන් 15%,20% සහ 25% වැනි අගයක ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි. මෙම ශිෂ්‍යත්ව ප්‍රවීණතා මට්ටම මත පිරිනැමෙන අතර, සිසුන් මින් පෙර පෙන්නුම් කර ඇති ඉගෙනුම් ශක්‍යතා මත ශිෂ්‍යත්ව සඳහා සිසුන් නිර්දේශ කෙරේ. මෙම ශිෂ්‍යත්ව ලියාපදිංචියේ අනුපිළිවෙලට පිරිනමන බව ද ව්‍යාපාරික පාසල පවසයි.

    ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල 'වෘත්තීය ගණකාධිකරණ විද්‍යාපති උපාධිය (CPA ඕස්ට්‍රේලියා විස්තාරය), 'වෘත්තීය ගණකාධිකරණ විද්‍යාපති (ව්‍යාපාරික විශ්ලේෂී) සහ කළමනාකරණ/ව්‍යාපාර ශාස්ත්‍රපති උපාධි දේශීය සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට ඔබින පරිදි පිරිනමයි.