ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා සංචාරක කටයුතු දියුණු කිරිමට පියවර

    December, 18, 2020

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 09 වනදා පැවැත්විණ.  මෙම රැස්වීම සිඩ්නි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.

    දෙරටේ පෞද්ගලික අංශ අතර අන්තර් ව්‍යාපාර රැස්වීම් සඳහා පහසුකම් සැලසීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි සිඩ්නි නුවර ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම පිළිබඳව සිඩ්නි නුවර ශ්‍රි ලංකා කොන්සල් ජනරල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කරුණු  අවධාරණය කළේය.

    කොන්සල් (වාණිජ) අබ්දුල් රහීම් මහතා සිය අදහස් දක්වමින්, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ද ශ්‍රී ලාංකික හා ඕස්ට්‍රේලියානු සගයන් සමඟ එක්ව කටයුතු කළ හැකි ව්‍යාපාරික කවුන්සිලයේ අරමුණු පැහැදිලි කළේය.

    මෙම රැස්වීමට සහභාගී වූ ආරාධිතයින් ද සිය අදහස් ප්‍රකාශ කළ අතර, ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීම සඳහා සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සමඟ කටයුතු කිරීමටත්, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවේ අභිවෘද්ධිය සඳහා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දීමටත් එකඟ විය. ඉදිරි මාසවලදී ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීමේ දී එහි ව්‍යවස්ථාව සහ අනෙකුත් විධිවිධාන සකස් කිරීම පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගන්නා ලදී.

    ඕස්ට්‍රේලියාව 2019 වසරේ දී ශ්‍රී ලංකාව සඳහා 13 වැනි අපනයන වෙළඳපොල වූ අතර, 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 200 ක වටිනාකමක් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන පසුගිය වසර කිහිපය තුළ දී ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. ඕස්ට්‍රේලියාවට අපනයනය කරන ප්‍රධාන භාණ්ඩ අතර ඇඟලුම්, තේ, අත්වැසුම් ඇතුළු ඇඟලුම් සහ ඇඳුම් පැළඳුම් උපාංග, නැවත කට්ටා කැපූ හෝ භාවිතා කරන ලද රබර් ටයර්, භාණ්ඩ ප්‍රවාහන මෝටර් වාහන, රෙදිපිළිවලින් සාදන ලද වෙනත් භාණ්ඩ, උකුකළ පොල් කිරි යනාදිය වෙයි.