කමන්ත අමරසේකර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් මිලියන 750 ක් මිල දී ගනී

    December, 22, 2020

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් මිලියන 750 ක් එහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන කමන්ත අමරසේකර විසින් අද (22) දින මිල දී ගනු ලැබීය.

    මෙහිදී එක් කොටසක ගැනුම් මිල රු. 4.00 ක් වූ අතර ඒ අනුව මෙම කොටස් මිල දී ගැනීම සඳහා කමන්ත අමරසේකර විසින් ආයෝජනය කරන ලද සම්පූර්ණ මුදල රු. බිලියන 3 ක් වේ.

    මෙම කොටස් මිල දී ගැනීමත් සමඟම කමන්ත අමරසේකර සතු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වය එම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 5%ක් ඉක්මවා යනු ඇත.

    LOLC සමූහයේ මූලෝපායික ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර පසුගිය (17) දා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණු අතර කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුම ලෙසින් මෙම අත්සන් තැබීම සිදුවිය.

    කමන්ත අමරසේකර Kelani Tyres PLC, Lanka Milk Foods (CWE) PLC, Madulsima Plantations PLC, Balangoda Plantations PLC, Eden Hotel Lanka PLC, Ceylon Hotels Corporation PLC, Palm Garden Hotels PLC, සහ AgStar PLC යන ලැයිස්තුගත සමාගම්වල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.