කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් රයිගමට

    October, 20, 2016

    පාරිභෝගික හා නව තාක්ෂණ නිෂ්පාදන සඳහා වෙන් වූ තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රදේශයේ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වූ කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීමත්, ප්‍රාදේශීය සම්පත්වලින් අගය එකතු කළ නිෂ්පාදනයන් සිදු කරනු ලබන කර්මාන්ත ඇති කිරීමත්, ඉහළ වැටුප් සහිත රැකියා ග්‍රාමීය ප්‍රදේශවල සුලභ කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්තපුර පිහිටුවීම රජයේ සංකල්පය වේ.

    මේ යටතේ නැ‍ඟෙනහිර ආසියානු රටවල ස්ථාපිත සංවර්ධන කලාපයන්හි පවතින යටිතල පහසුකම් හා සේවාවන්ට සමාන යටිතල පහසුකම් හා සේවාවලින් යුත් කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන කලාප 11ක් දිවයින පුරා පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, ඒ අතුරින් හම්බන්තොට, රයිගම, මහඔය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි අධි කලාප 04ක් පිහිටුවීම සඳහා 2016 අයවැය ප්‍රතිපාදන තුළින් රුපියල් මිලියන 500ක් වෙන් කරනු ලැබ ඇත.