ක්‍රෙඩිට් කාඩ් පොළිය අහස උසට නගින්නට හේතුව මෙන්න

    July, 12, 2019

    වර්තමානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික පොළී අනුපාතිය 32%ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක්ම මේ වන විට පියවර ගෙන තිබේ. මහ බැංකුව විසින් ණය පොළී අනුපාතික පහළ දැමීම සඳහා කටයුතු කරමින් යන මෙවන් වකවානුවක දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොළිය මෙයාකාරයෙන් ඉතා ඉහළ අගයයක් ගන්නේ මන්දැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් අද දෙරණ විමසා සිටියේය. මේ ඊට මහ බැංකු අධිපතිවරයා ලබා දුන් ප්‍රතිචාරයයි.

    “ක්‍රෙඩිට් කාඩ් වැනි සුරැකුම් රහිත ණය උපකරණ, සුරැකුම්පත් සහිත ණය උපකරණවලින් වෙන්කර හඳුනාගත යුතුයි. ආර්ථිකය අවධමනකාරී පසුබිමක දී සුරැකුම් රහිත ණය උපකරණවල අවදානම ඉහළ නංවන්න බැංකු කටයුතු කරනවා. මන්ද, එය ලබා දෙන්නේ කිසිදු සුරැකුමක් තබාගෙන නොවෙයි. එවැනි ආර්ථික වාතාවරණයක දී ඒවායේ පොළී අනුපාතික පහළ ගෙන ඒම තරමක් දුරට අපහසු වෙනවා.“

    “සුරැකුම් පදනම් කරගනිමින් සිදුකෙරන සාමාන්‍ය ණය ලබාදීම්වලදී පොළී අනුපාතිකවල පහළ යාමක් අපි අපේක්ෂා කරනවා. ආර්ථික ක්‍රියාකාරකම් නිහඬ වී ඇති මෙවන් වකවානුවක දී බැංකු විසින් සුරැකුම්පත් නොමැතිව සිදුකරනු ලබන ණයදීම්වලට ඉහළ අවදානම් පොළී අනුපාතිකයක් ගලපනු ලබනවා. එය ස්වභාවිකවම සිදුවන්නක්.“

    2019 මැයි මාසය අවසානයේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති මුළු ක්‍රෙඩ්ට් කාඩ්පත් සංඛ්‍යාව 1,722,253 කි. මෙයින් 21,533 ක් දේශීය ගනුදෙනු පමණක් භාවිත කෙරෙන අතර 1,700,720 ක් ගෝලීය වශයෙන් ගනුදෙනු සඳහා අනුමත ඒවා වේ.

    මෙම සියලු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2019 මැයි මාසය අවසානයේ දී ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 108,764 ක් වේ. 2019 අප්‍රේල් මාසය අවසානයේ දී මෙම අගය රු. මිලියන 110,275 ක් ලෙසින් සටහන් වී තිබුණි. මේ අනුව මැයි මාසය තුළ දී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් හිඟව ඇති මුළු මුදල රු. මිලියන 1,511 කින් පහළ ගොස් ඇත.