ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

    July, 20, 2020

    පසුගිය 2020 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පැහැදිලි පහළ යාමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    2020 අප්‍රේල් මාසය අවසානයෙ දී මෙරට සක්‍රීය ක්‍රඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,822,046 ක්වූ අතර එය මැයි මාසය තුළ දී 1,821,108 ක් දක්වා කාඩ්පත් 938කින් පහළ ගොස් ඇත. මේ අතර 2019 දෙසැම්බර් අවසාන වන විට මෙරට පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,829,927 ක්වූ අතර මැයි මාසය අවසන් වන විට මාස 05 ක කාලයක් තුළ දී එම සංඛ්‍යාව 8,819 කින් අඩුවී තිබේ.

    තවද 2020 මැයි මාසය අවසානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හිඟව පැවති මුළු මුදල රු. මිලියන 116,498 කි. මෙය අප්‍රෙල් මාසය අවසානයේ සටහන්ව තිබුණු රු. මිලියන 119,170 ට වඩා රු. මිලියන 2,672 ක අඩුවීමකි. එමෙන්ම 2019 වර්ෂය අවසානයේ දී ක්‍රෙඩිට් කාඩ් සඳහා හිඟව තිබුණු මුදල රු. මිලියන 121,489 ක් වන අතර එය 2020 මුල් මාස 05 තුළ දී රු. මිලියන 4,991 කින් පහළ ගොස් ඇත.