කොකා-කෝලා වෙතින් පීසීආර් පරීක්ෂණ කට්ටල 16,800ක පරිත්‍යාගයක්

    September, 8, 2020

    කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව නැවත නගාසිටුවීම උදෙසා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග සහයෝගීතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය සහයෝගය ලබාදීමක්

    කොවිඩ්-19 වසංගතය හමුවේ පැමිණෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාව නැවත නගාසිටුවීමේ ගමනට සවිබලයක් වෙමින් කොකා-කෝලා සමාගම රුපියල් මිලියන 130ක මුදලක් ඒ වෙනුවෙන් වෙන්කරන ලදී. එම මුල්‍ය ශක්තියත් සමගින් සිදුකරගෙන යන ව්‍යාපෘති මාලාවේ තුන් වැනි අදියරට ළඟාවෙමින් ශ්‍රී ලංකා රතු කුරුස සමාගම සමග අත්වැල් බැඳගත් කොකා-කෝලා සමාගම පීසීආර් පරීක්ෂණ කට්ටල 16,800කට අධික සංඛ්‍යාවක් හා වෛරස් ප්‍රවාහන මාධ්‍ය (VTM) උපකරණ 17,000ක් සෞඛ්‍ය  අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. කොවිඩ්-19 රෝගයට අදාල පරීක්ෂණ සිදුකිරීම ඉහළ නංවමින් රෝගය පැතිරීම පාලනය කිරීමට වැදගත් දායකත්වයක් මෙම පරිත්‍යාගය හරහා රජයට ලැබී ඇති බව පැහැදිලිය. රටක් වශයෙන් අප මේ වන විට ලෝකයට විවෘතව සිටියද තවමත් අප රටින් සම්පූර්ණයෙන්ම     කොවිඩ් -19 රෝගය තුරන්කර නොමැත. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශයන්ට අනුකූලව දෛනිකව රෝග පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අතර එම පරීක්ෂණ සංඛ්‍යාත්මකව ඉහළ නැංවීම රෝගය පැතිරයාම පාලනය සඳහා ඉතා වැදගත් සාධකයක් වනු ඇත. ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෛනිකව ආසන්න වශයෙන් පරීක්ෂණ 2,000ක් පමණ සිදුකරමින් පවතින අතර, එම සංඛ්‍යාව ඉහළ නංවාගැනීම තුලින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් නැවත ගෙන්වා ගැනීමට සහ විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොල විවෘත කරමින් රටේ ආර්ථිකය නගාසිටුවීමට වැදගත් සහයෝගයක් ලැබෙනු ඇත. කොකා-කෝලා සමාගමේ දායකත්වයෙන් සිදුකළ මෙම පරීක්ෂණ කට්ටල පරිත්‍යාගය නිසා කොවිඩ්-19 වසංගතය  පාලනය කරගනිමින් පරීක්ෂණ පරිමාවන් ඉහළ නංවාගැනීමේ අවස්ථාව ලැබී ඇත.

    මූලික අදියරවලදී කොකා-කෝලා සමාගම මේ උත්සාහය වෙනුවෙන් රුපියල් මිලියන 130 ක් වෙන්කරන බවට ප්‍රතිඥා ලබා දුන් අතර, දෙවැනි අදියරේදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග සහයෝගීතාවයට එළඹෙමින්, දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන දෛනික කුලී ආදායම් ලබන පිරිස් වැනි ජන කොටස් වෙත වියළි ආහාර, සනීපාරක්ෂක භාණ්ඩ හා ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාග කිරීමටද කටයුතු කරන ලදී. පසුගිය කාලසීමාවේදී සමාජයේ අධි අවදානම් ජන කොටස් බවට පත්වූ පිරිස් වෙනුවෙන් කොකා - කෝලා සමාගම ඉක්මන් ප්‍රතිචාර දැක්වීම හරහා    ශ්‍රී ලාංකිකයින්ගේ යහපත වෙනුවෙන් කොකා - කෝලා සමාගම දක්වන කැපවීම කොතරම්ද යන කරුණ නැවත වරක් පැහැදිලිවී ඇත. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා සෑම විටම සූදානමින් සිටීම හා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම අතිශය වැදගත්ය.

    සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මේ පිළිබඳ දැක්වූ අදහස් මෙසේයි. “කොවිඩ්-19 වසංගතය අපි ජාතියක් වශයෙන් මුහුණ දෙමින් සිටින ඉතාම බරපතල අභියෝගාත්මක තත්ත්වයක්. මෙවැනි කාලසීමාවකදී කොකා-කෝලා වැනි සමාගමක් සිය වගකීම මැනවින් ඉටුකරමින් පීසීආර් පරීක්ෂණ කට්ටල 16,800කට වැඩි සංඛ්‍යාවක් හා වෛරස් ප්‍රවාහන මාධ්‍ය (VTM) උපකරණ පරිත්‍යාග කිරීම ගැන අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.  ඉදිරි සති කිහිපය තුල පීසීආර් පරීක්ෂණ පැවැත්වීම තවදුරටත් ඉහල නංවමින් මෙම රෝගය පාලනය කරගැනීමට අපට එයින් ලැබෙන සහයෝගය ඉතාම වැදගත් බව මම සතුටින් ප්‍රකාශකර සිටින්න කැමතියි.”

    කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මයන්ක් අරෝරා මේ සම්බන්ධ අදහස් දක්වමින් “සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සහයෝගීතාවයෙන් වැඩකරමින් කොවිඩ්-19 රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වූ අභියෝගයට දායකත්වය ලබාදීමට හැකිවීම ගැන කොකා-කෝලා සමාගම ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා. රටක් වශයෙන් නැවත විවෘත වීමට සූදානමින් සිටින මේ කාලයේදී පෞද්ගලික ව්‍යාපාරික සමාගම් රජයට අවශ්‍ය සහයෝගය ලබාදීම ඉතාමත් වැදගත් වන අතර, කොකා-කෝලා සමාගම ඒ වගකීම මැනවින් ඉටුකරමින් මෙරට ප්‍රජාව සෞඛ්‍යාරක්ෂිත කිරීමට වගේම ආර්ථිකය නැවත සවිබලගැන්වීමටත් අවශ්‍ය දායකත්වය ලබාදෙමින් සිටින බව මම කියා සිටින්න කැමතියි.” යනුවෙන් පවසා සිටී.

    කොකා-කෝලා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පංකජ් සිංහා මහතා සිය අදහස් මෙසේ දක්වා සිටියේය. “අප විසින් මේ ප්‍රතිඥාව ලබා දුන්නාට පසු එම කටයුත්ත අපට පෙනුනේ ඉතා දීර්ඝ ව්‍යාපෘතියක්  ලෙසටයි. නමුත් අපි දැනටමත් පරීක්ෂණ කට්ටල 16,800කට අධික සංඛ්‍යාවක් හා VTM කට්ටල 17,000ක් පරිත්‍යාග කර තිබෙනවා. ව්‍යාපෘතියේ පළමු  අදියර දෙක සම්පූර්ණ කිරීමෙන් අනතුරු ‘Refresh the World and Make a Difference’ යන කොකා-කෝලා සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර අරමුණ ඉදිරියට රැගෙන යන්නට අපි තවත්  කැපවෙනවා. මෙම වසංගත තත්ත්වයෙන් රට මුදවා ගනිමින් නැවත නැගී සිටීමට අවශ්‍ය ශක්තිය අපි නොඅඩුව ලබාදෙනවා.”

    ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා මෙම සහයෝගීතාවය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය. “මෙම වසංගතය මැඩපැවැත්වීම සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර, සනීපාරක්ෂක භාණ්ඩ, ප්‍රථමාධාර කට්ටල හා දැන් සිදුකරන මෙම පරීක්ෂණ කට්ටල පරිත්‍යාගයන් හරහා කොකා-කෝලා සමාගම ලබාදෙන වැදගත් දායකත්වය මෙම වසංගතය පරාජය කරමින් සමාජයක් වශයෙන් නැවත නැගීසිටීමට අපට දැවැන්ත සවිබලයක් ලබාදෙනවා.”

     

    ඡායාරූපය: කොකා-කෝලා සමාගමේ මූලිකත්වයෙන් කොවිඩ් - 19 රෝගය මැඩපැවැත්වීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමින් යුතු පීසීආර් පරීක්ෂණ කට්ටල හා වෛරස් ප්‍රවාහන මාධ්‍ය (VTM) උපකරණ භාරදීම පසුගියදා සිදුවිය. මෙම අවස්ථාව සඳහා කොකා-කෝලා බෙවරේජස්      ශ්‍රී  ලංකා සමාගමේ මහජන සබඳතා, සන්නිවේදන සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂ - ලක්ෂාන් මධුරසිංහ, කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ - මයන්ක් අරෝරා, කොකා-කෝලා         ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ - පංකජ් සිංහා සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර යන මහත්වරු එක්ව සිටියහ.