කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක්

    March, 28, 2017

    දිගින් දිගටම පහළ බසින තත්ත්වයක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ වාතාවරණය මේ වන විට අයහපත් අතට හැරී තිබෙන බව වාර්තා වේ. ඊයේ (27) දිනය වන විට 2017 වසරේ මේ දක්වා කාලය තුළ දී සියයට 4.07 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබිණි.

    පවතින තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් බරපතළ ගැටළු කිහිපයකටම මුහුණ දී සිටින අතර ඇතැම් සමාගම්වල ලබන මාසයේ සිට වැටුප් කප්පාදු සිදුකිරීමට නියමිත බව ද අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ කොටස් වෙළඳපොළ තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් හා කොළඹ කොටස් වෙළෙඳපොළ බලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ දී පවත්වා තිබේ. දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පහළ යන තත්ත්වය තුළ ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොටස් වෙළෙඳපොළ බලධාරීන් විසින් මෙම හමුව කැඳවා තිබිණි.

    කෙසේ වෙතත් අද දෙරණ Biz කළ සොයා බැලීමක දී වාර්තා වූයේ මෙම සාකච්ඡාව කිසිදු ප්‍රතිඵලයකින් තොරව නිමවූ බවයි.

    තැරැව්කාර සමාගම් වෙත අලුතින් හඳුන්වා දෙන ලද ද්‍රවශීල ප්‍රාග්ධන අවශ්‍යතා හේතුවෙන් මේ වන විට තැරැව්කාර සමාගම් 3 ක ගැනුම් අත්හිටුවා ඇති බවත් මෙවැනි කොටස් වෙළෙඳපොළ පහළ බසින වාතාවරණයක දී තැරැව්කාර සමාගම්වල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නැංවීමට නව මුදල් ආයෝජන බලාපොරොත්තු වීම නිශ්ඵල ක්‍රියාවක් බවත් තැරැව්කරුවන් විසින් මෙහිදී අවධාරණය කර ඇත.

    තවද පසුගියදා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවති ආයෝජන සමුළු සම්බන්ධයෙන් ද තැරැව්කරුවන්ගේ අප්‍රසාදය මෙහිද පළ වී තිබේ. කොටස් වෙළෙඳපොළ සංවර්ධනය උදෙසා ගත යුතු නිසි පියවර නොගෙන, පෙර කී ආකාරයෙන් විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට විදෙස් රටවලට ගොස් ඉහළ වියදමක් දරා ආයෝජන සමුළු පැවැත්වීම අර්ථ ශූන්‍ය බව තැරැව්කාර සමාගම් ප්‍රධානීන් කිහිප දෙනෙකුම මෙහිදී පවසා ඇත.

    මේ අතර පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳ ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා හා කොටස් තැරැව්කරුවන් අතර සාකච්ඡාවක් නුදුරේ දීම පැවැත්වීමට නියමිතය.