කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක පිරිවැටුමක්. වැඩිම ගනුදෙනු සංඛ්‍යාවත් අද

    January, 15, 2021

    මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම අගයයි.

    තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්වනු ඇත. මීට පෙර 2011 පෙබරවාරි 14 දින ඒකක 255 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වීම මෙතෙක් තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගය ලෙසින් වාර්තා පෙන්වා දේ.

    මේ අතර අද දින රු. බිලියන 12.46 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීමද විශේෂත්වයකි.

    තවද කොළඹ කොටස් වෙළෙඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින් අද දින කොටස් ගනුදෙනු 60,818 ක් වාර්තා වී තිබේ.

    මීට පෙර පසුගිය බදාදා (13) දිනයේ දී 51,862 ක ගනුදෙනු ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි.