කොටස් වෙළෙඳපොළේ සමාගම්වල ආයෝජනයෙන් සේවක අර්ථසාධක අරමුදලට රු. බිලියන 39 කට අධික අලාභයක්

    July, 21, 2020

    ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන, සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර තිබෙන හිමිකම් (Equity) ආයෝජනවලින් 2020 පළමු කාර්තුව අවසාන වන විට වාර්තා කර තිබෙන අලාභය රුපියල් බිලියන 39 ඉක්මවා ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    සේවක අර්ථසාධක අරමුදල විසින් රු. බිලියන 84.05 ක් ලැයිස්තුගත සමාගම් කොටස් 83 ක ආයෝජනය කර ඇති අතර 2020 පළමු කාර්තුව අවසානය වන විට ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 44.97 ක් දක්වා පහළ ගොස් තිබේ. මේ අනුව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජනයෙන් අර්ථසාධක අරමුදල ලබා ඇති අලාභය රු. බිලියන 39.08 කි.

    අර්ථසාධක අරමුදල 2020 මුල් කාර්තුව තුළ දී Teejay Lanka PLC සමාගමේ පමණක් නව ආයෝජනයක් සිදුකර තිබේ. Teejay Lanka PLC හි 2019 දෙසැම්බර් 31 වන විට ආයෝජනය කර තිබූ කොටස් 384,849 ක ප්‍රමාණය 2020 මාර්තු 31 වන විට කොටස් 6,979,333 ක් දක්වා වර්ධනය වී ඇත.

    2019 දෙසැම්බර් 31 දිනට අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම දැක්වෙන්නේ රු. බිලියන 66.26 ක් වශයෙනි. මෙම අගය 2020 මාර්තු 31 දිනට රු. බිලියන 44.97 ක් දක්වා පහළ ගොස් ඇත. මේ අනුව 2020 පළමු කාර්තුව තුළ දී පමණක් ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 11.29 කින් හෙවත් 17%කින් අඩු වී තිබේ.

    1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ අරමුදලෙහි භාරකාරීත්වය මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති අතර එහි පරිපාලනය කම්කරු කොමසාරිස් වෙත පවරා ඇත.

    අරමුදලෙහි මුළු වටිනාකම 2018 වසර අවසානයේ වාර්තා වූ රු. බිලියන 2,289.4ට සාපෙක්ෂව 2019 වසර අවසානය වන විට සියයට 11 ක වර්ධනයක් පෙන්නුම් කරමින්, අරමුදලෙහි සමස්ත වටිනාකම රු. බිලියන 2,540.4 ක් දක්වා රු. බිලියන 251.1 කින් වැඩිවිය.

    අරමුදලෙහි සමස්ත ආයෝජන කළඹෙහි වටිනාකම (පොත් අගය) 2018 වසරේ පැවති රු. බිලියන 2,298.8 ට සාපෙක්ෂව 2019 වසරේ දී රු. බිලියන 2,548.7 දක්වා සියයට 10.9 කින් වර්ධනය විය.

    2019 වසර අවසානය වන විට අරමුදලෙහි සමස්ත ආයෝජනයන්ගෙන් 93.8%ක් රජයේ සුරැකුම්පත් හි ආයෝජනය කර තිබූ අතර, සමාගම් කොටස්වල 3% ක් ද, සාංගමික ණය හා භාරකාර සහතිකපත්වල 1.7% ක් ද, ස්ථාවර තැන්පතුවල 0.9% ක් ද ඉතිරි 0.6% ප්‍රතිවිකුණුම් ගිවිසුම්වල ද ආයෝජනය කර තිබුණි.

    අරමුදලේ සමස්ත ආයෝජන ආදායම 2019 වසරේ දී රු. බිලියන 259 ක් වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී 16.5% ක වර්ධනයකි.

    2020 මාර්තු 31 දින වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නොවන සමාගම් කොටස්වලප ආයෝජනය කර ඇති අයුරු පහතින් දැක්වේ.