කොටස් වෙළෙඳපොළ ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිළිබදව දැනුවත් කිරීම සඳහා SEC සහ CSE මගින් මාතලේ දී ආයෝජක අධ්‍යාපන සංසදයක් පවත්වයි

    November, 29, 2024

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සමඟ එක්ව මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේදී ආයෝජක සංසදයක් පවත්වන ලදී. මෙම සංසදය ආයෝජකයින්ගේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සහ කොටස් වෙළඳපොලේ ආයෝජන අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් වීමේ වැදගත්කම අවධාරණය කිරීම සදහා ගන්නා ලද තවත් උත්සාහයකි.

    130 කට අධික ආයෝජකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංසදය මගින් මාතලේ කලාපයේ දැනට කොටස් වෙළෙඳ පොළ හා සම්බන්ද ආයෝජකයන් සහ නව ආයෝජකයන් දැනුවත් කරන ලද අතර ආයෝජන තීරණ ගැනීමේදී මූල්‍ය සාක්ෂරතාවයේ සහ ආයෝජක අධ්‍යාපනයේ වැදගත්කම අවධාරනය කරන ලදි.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සම්බන්ධ මූලික කරුණු හඳුන්වා දීමෙන් මෙම ආයෝජක සංසදය ආරම්භ විය. CSE, කුරුණෑගල ශාඛා කළමණාකරු තුසිත මීගහකුඹුර මහතා විසින් මෙහෙයවන ලද මෙම සැසිය මගින් ආයෝජනයේ මූලික කරුණු පිළිබද දැනුවත් කරමින්, සහභාගිවූවන්ට එම ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් සහ වෙළඳපොළට පිවිසීමේ ප්‍රතිලාභ පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදී.

    මින් අනතුරුව ආයෝජකයින්ගේ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රාග්ධන වෙළෙඳපොළ තුල සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳ සැසියක් පවත්වන ලදී. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බාහිර සබඳතා කළමනාකාර නිමල් කුමාරසිංහ මහතාගේ ඉදිරිපත් කිරීම මඟින් ආයෝජකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත හා විනිවිද පෙනෙන වෙළඳපල පරිසරයක් සහතික කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වගකීම පිළිබද දැනුවත් කරන ලදී.

    ඩිජිටල් ආයෝජන මෙවලම් පිළිබඳ අවබෝධය තවදුරටත් වැඩි දියුණු කරමින්, CSE හි මහනුවර ශාඛා කළමනාකාර ධනංජය අබේසිරිවර්ධන මහතා, CSE Mobile App යෙදවුම ආයෝජකයන්ට හඳුන්වා දුන්නේ, එහි විශේෂාංග සහ එය කොටස් වෙළෙඳපොළට පහසුවෙන් ප්‍රවේශ වීමට පහසුකම් සපයන ආකාරය පැහැදිලි කරමිනි. යෙදුමේ වීඩියෝ නිරූපණයක් එහි ක්‍රියාකාරීත්වය තවදුරටත් ප්‍රදර්ශනය කළේය

    සීමාසහිත බාර්ට්ලීට් රෙලිගෙයාර් (Bartleet Religare) සුරැකුම්පත් පෞද්ගලික සමාගමෙහි පර්යේෂණ විශ්ලේෂක ඉරංග ප්‍රනාන්දු මහතා විසින් වියාපාර අංශ කාර්ය සාධනය සහ වෙළඳපල අවස්ථා පිළිබඳ විශ්ලේෂණයක්  ඉදිරිපත් කරමින් ආයෝජකයන් දැනුවත් කරන ලදී . මෙම සැසිය සදහා සහභාගිවුවන්ට  විවිධ වෙළෙඳපොල අංශවල වර්තමාන තත්ත්වය  මෙන්ම වෙළඳපල තුළ පවතින විභව ආයෝජන අවස්ථා සම්බන්දයෙන්ද අවබෝධයක් ලබා දෙන ලදි.

    නිමල් කුමාරසිංහ මහතා, ඉරංග ප්‍රනාන්දු මහතා සහ CSE හි අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් අන්තර් ක්‍රියාකාරී සංවාද සහ ප්‍රශ්නෝත්තර සැසියකින් ආයෝජක හමුව අවසන් විය.

    මෙහිදී සහභාගිවුවන්ට ශේත්‍රයේ  ප්‍රවීණයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට, ඔවුන්ගේ ගැටළු පැහැදිලි කිරීමට සහ සංසදය තුළ සාකච්ඡා කළ මාතෘකා පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලදි.

    මෙම සැසිවාරයෙන් පසු කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයින් සහ ඒකක භාර කළමනාකරණ සමාගම්වල නියෝජිතයින් හමුවීමට, පුද්ගලික අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සැලසීමට සහ ඔවුන්ගේ ආයෝජන ගමන පිළිබඳ වැඩිදුර උපදෙස් ලබා ගැනීමට ද ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙන ලදී.

    කොළඹ සහ ගාල්ල ඇතුළු ස්ථාන කිහිපයක සැලසුම් කර ඇති ඉදිරි මෙම සංසද සමඟින් SEC සහ CSE ඔවුන්ගේ ආයෝජක දැනුවති කිරීමේ ව්‍යාපාරය දිගටම කරගෙන යනු ඇත.

     

    ඡායාරූප විස්තරය - තලේ ආයෝජක සංසදය සදහා  සහභාගිවූවන්

    Video Story

    Stock Market

    Exchange Rates