කොටස් වෙළෙඳපොළ ගොඩගන්න සේවක අර්ථසාධක අරමුදලෙන් තල්ලුවක්. රු. මිලියන 495 ක ඩයලොග් කොටස් අද මිල දී ගනී

    May, 17, 2019

    දිගින් දිගටම පහළ යමින් තිබෙන කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මුදල් ආයෝජනය කිරීමට සේවක අර්ථසාධක අරමුදල (EPF) පියවර ගෙන තිබේ. මේ අනුව ඊයේ (16) සහ අද (17) දෙදින තුළ තෝරාගත් සමාගම් කොටස් මිල දී ගැනීම සඳහා ද්විතීයික වෙළෙඳපොළ ආයෝජනයන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල යොමු වී ඇත.

    2019 මැයි 15 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය 2012 අගොස්තු 30 වන දිනෙන් පසු වාර්තා කරන ලද අවම අගය වාර්තා කරනු ලැබූ අතර එහිදී සමස්ත කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය දැක්වුණේ 8.15 ක් ලෙසයි.

    තත්ත්වය මෙසේ තිබිය දී  ඊයේ (16)  දින ඒකක 51කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේ අඛණ්ඩව දින 10 ක් පුරාවට සිදු වූ මිල දර්ශක පහළ යාමට විරාමයක් තබමිනි. එමෙන්ම අද (17) දිනය තුළ ද ඒකක 7.92 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා විය.

    අද (17) දින දක්නට ලැබුණු විශේෂ සිදුවීම නම් රුපියල් බිලියන 1.38 ක දෛනික පිරිවැටුමක් වාර්තා වීමයි. 2019 වසරේ මේ දක්වා කාලය තුළ සාමාන්‍ය දෛනික පිරිවැටුම සටහන් වන්නේ රුපියල් මිලියන 555 ක් වශයෙනි.

    අද දින ගනුදෙනුවල දී ඩයලොග් ආසියාටා සමාගමේ කොටස් වෙත ඉහළ ඉල්ලුමක් තිබෙනු දක්නට ලැබිණි. ඩයලොග් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 55 ක් අවස්ථා 3 කදී රු. 9.00 බැගින්  ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ලෙසින් හුවමාරු වූ අතර රුපියල් මිලියන 495 ක් පිරිවැටුමක් ඒ හරහා වාර්තා විය. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී වාර්තා වූයේ සේවක අර්ථසාධක අරමුදල විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ, සේවක අර්ථසාධක අරමුදල වැනි මහාපරිමාණ අරමුදල් මෙවන් අවස්ථාවක ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම යහපත් මුලපිරීමක් බවත්, සමාගම් කොටස්වල වටිනාකම ඉතා ආකර්ෂණීය මට්ටමක පවතින මෙවැනි වකවානුවක සිදුකරනු ලබන ආයෝජන තුළින් ඒවායේ ප්‍රතිලාභීන් හට වැඩි ප්‍රතිලාභයක් උපයා ගත හැකි බවත්ය.