කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් සේවාව කීල්ස් ෆුඞ් ප‍්‍රඩක්ට්ස් අන්තර්ජාල සන්නාමයට සවිබලය ලබාදෙයි

June, 23, 2020

ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාල වෙළඳාමේ ප‍්‍රමාණය සහ එමගින් ඉදිරිපත් කරන භාණ්ඩ පරාසය දිනෙන් දිනම වර්ධනය වීම හමුවේ මෙරට ඊ-වාණිජ්‍යය කටයුතු සඳහා පහසුකම් සැපයීමේ දැවැන්තයෙකු වන කොමර්ෂල් බැංකුව, ශ‍්‍රී ලංකාවේ සැකසූ මස් නිෂ්පාදන අලෙවිකරන ප‍්‍රමුඛතම සමාගමක අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස තෝරාගෙන තිබේ.

Keells Krest සහ Elephant House සන්නාමවල නිශ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සඳහා පිහිටුවා ඇති ‘Meat House’ සමාගම කොමර්ෂල් බැංකුවේ නවතම අන්තර්ජාල ගෙවීම් ද්වාර සේවා ගැනුම්කරුවා බවට පත්වී ඇත. මෙම සමාගම කීල්ස් ෆුඞ් ප‍්‍රඩක්ට්ස් පී.එල්.සී. (KFPL) සමාගම පූර්ණ අනුබද්ධ ව්‍යාපාරයකි. මෙම නවතම ඒකාබද්ධවීම සමග ගනුදෙනුකරුවන්ට මෙම සමාගමෙන් අන්තර්ජාලය ඔස්සේ නැවුම් සහ සැකසූ මස් නිෂ්පාදන මිලදීගැනීමේ අවස්ථාව උදාවී තිබේ. මෙහිදී, ඇනවුම් කරන සියළුම නිෂ්පාදන කීල්ස් ෆුඞ් ප‍්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමේ කර්මාන්ත ශාලාවේ සිටම අමතර පිරිවැයකින් තොරව, නැවුම්ව සහ ආරක්ෂාකාරීව මෙන්ම කරදරයකින් තොරව සියළුම ගැනුම්කරුවන් වෙතට පැමිණ භාරදෙනු ලබයි.

මෙම සේවාව මගින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් අනුමත කරන අතර වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ සන්නාම වලින් යුතු කාඞ්පත් මගින් සිදුකරන සෘජු ගෙවීම්ද සකසමින් කීල්ස් ෆුඞ් ප‍්‍රඩක්ට්ස් පී.එල්.සී. ගනුදෙනුකරුවන්ට නැවුම් මස් වර්ග, සොසේජස්, මීට්බෝල්ස් සහ අනෙකුත් ආහාර වර්ග නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීමේ අවස්ථාව ලබාදෙයි.

මේ අනුව, www.meathouse.lk වෙබ් අඩවියේ අන්තර්ජාල ගෙවීමේ ක‍්‍රියාවලිය සඳහා කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සලසන අතර එය සපයනු ලබන්නේ මාස්ටර්කාඞ් ගෙවීම් ද්වාර සේවා (MPGS) මගිනි. මෙම සේවා සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප‍්‍රමිති (PCI-DSS) අවශ්‍යතාවයන්ට අනුකූල වේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී ඊ-වාණිජ්‍යය විසඳුමක් වන අතර මෙහිදී කාඞ්පතේ තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරීව ගෙවීම් සර්වරයේ සැකසෙන අතර එය වෙළඳුන්ගේ පාර්ශවයෙන් සැකසීමක් සිදු නොවේ.

කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂාකර ගතයුතු නිසා අන්තර්ජාලය ඔස්සේ නිෂ්පාදන මිලදීගැනීමට අවස්ථාව ලබාදීම ඉතාමත් පහසු සහ ආරක්ෂාකාරී විසඳුමක් ලෙසින් සඳහන් කළ හැකිය. මේ නිසා, වෙළඳසැලකට හෝ සුපිරි වෙළඳසැලකට ගොස් පෝලිම්වල සිටීම වැලකෙන නිසා ගනුදෙනුකරුවාට වඩාත් ආරක්ෂාවක් සැලසෙන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් ද්වාර සේවාව මගින් වංචා මැඩලන සේවා රැසකට ප‍්‍රවේශය ලබාදී තිබෙන අතරට ඒවා අතරට ‘මාස්ටර්කාඞ් සෙක්යෝ කෝඞ්’, ‘වේරිෆයිඞ් බයි වීසා’ ත‍්‍රිමාන ආරක්ෂිත ස්ථීර කිරීමේ විසඳුම, කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීයව හැසිරවීමේ අවස්ථාව, ටෝකෙනයිසේෂන් හරහා කාඞ්-ඔන්-ෆයිල් ගනුදෙනු සක‍්‍රීය කිරීම, මිලදීගන්නාගේ කාඞ්පතේ සංවේදී දත්ත වෙළෙඳුන්ගේ පද්ධතියෙන් ඈත්කිරීම ඇතුළත් වේ. මේ අතර, PHP, Java සහ C Sharp වැනි බහුවිධ භාෂා පද්ධතීන්ට මෙමගින් ඒකාබද්ධතා විකල්පයන් ලබාදෙන අතර විවිධ වූ උපකරණ භාවිතා කරන්නන්ට පහසු අත්දැකීමක් ලබාදීම සඳහා නිර්මාණය කර තිබෙන උපකරණ ප‍්‍රශස්ත ගෙවීම් තිර සඳහාද සහයෝගය ලබාදෙයි.

‘Meat House’ යනු කීල්ස් ෆුඞ් ප‍්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට පූර්ණ අනුබද්ධ ව්‍යාපාරයක් වන අතර මෙම සමාගමට මස් කර්මාන්තයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් තිබේ.

කීල්ස් ෆුඞ් ප‍්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගම 1983 වසරේදී ආරම්භ කළ අතර සමාගමට අයත් Keells Krest සහ Elephant House සන්නාම යටතේ ඉතාමත් අනර්ඝ සහ නැවුම් මස් ආශ‍්‍රිත නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරයි. මෙරට මස් කර්මාන්තයේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය සහ ක‍්‍රියාවලිය සඳහා SLS සහතිකය ලබාගත් පළමු සමාගම බවට පත්ව තිබෙන්නේ මෙම සමාගමයි.

www.meathouse.lk වෙබ් අඩවිය ඔස්සේ ඇනවුම් කරන නිෂ්පාදන කොළඹ 1-15 දක්වාත් අංගොඩ, අතුරුගිරිය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, දෙහිවල, ඇතුල්කෝට්ටේ, ගම්පහ, හෝමාගම, ජා-ඇල, කඩවත, කඩුවෙල, කළුබෝවිල, කඳාන, කටුනායක, කැළණිය, කැස්බෑව, කිරිබත්ගොඩ, කොහුවල, කොටිකාවත්ත, කොට්ටාව, මහරගම, මාලඹේ, මොරටුව, ගල්කිස්ස, නාවල, මීගමුව, නුගේගොඩ, පන්නිපිටිය, පැලවත්ත, පෑලියගොඩ, පිලියන්දළ, පිටකෝට්ටේ, රාගම, රාජගිරිය, රත්මලාන, සීදුව, තලවතුගොඩ, වත්තල, වැල්ලම්පිටිය සහ විජේරාම දක්වාත් සමාගම විසින් බෙදාහැරීම සිදුකරයි.

ඊ-වාණිජ්‍ය ක්ෂේත‍්‍රයෙන් ප‍්‍රතිලාභ ලබාගනිමින් මෙරට දේශීය ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ඩිජිටල්කරණය කිරීම සඳහා ‘ComBank Simple Pay’ නමින් විප්ලවීය පද්ධතියක් හඳුන්වා දෙන ලදී. මෙම පද්ධතිය මගින් දේශීය ව්‍යාවසායකයින්ට වෙබ් අඩවි සංවර්ධනයට සහ නිර්මාණකරණයට විශාල මුදලක් වැය නොකොට තමන්ගේම අන්තර්ජාල වෙළඳසැලක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මෙමගින් ඔවුන්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පිළිගැනීම සිදුකරමින් ‘ComBank Simple Pay’ පද්ධතිය තුළින් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී මාලදිවයින බැංකුවට අමතරව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි.