කොමර්ෂල් බැංකුවේ ‘අරුණැල්ල’ විසින් ගනුදෙනුකරුවන්ට කොවිඞ්-19 සහන වැඩසටහන් මාලාවක්

    July, 10, 2020

    කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් සහන සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන විවිධ වැඩසටහන් එකතු කරමින් ‘අරුණැල්ල’ නමින් මූල්‍ය සහාය යෝජනා ක‍්‍රමයක් බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර මේ තුළින් පීඩාවට පත් ව්‍යාපාර වලට සහන සැලසීම සඳහා බැංකුවේ තිබෙන කැපවීම ඉස්මතුවී පෙනේ.

    කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා බැංකුව විසින් දැනටමත් ආරම්භ කර තිබෙන වැඩසටහන් 11 ක් ‘අරුණැල්ල’ මූල්‍ය සහාය යෝජනා ක‍්‍රමයට ඇතුළත් වන බවත් පවතින ණය සහන කාල සීමා අවසන් වීමෙන් පසුවද ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ආරම්භ කර ඇති නව වැඩසටහනක් 12 වන වැඩසටහන ලෙසින් මෙයට ඇතුළත් වන බව බැංකුව සඳහන් කරයි.

    නවතම සහන වැඩසටහනට විශේෂ ගෙවීම් සහන යෝජනා ක‍්‍රම ඇතුළත් වී තිබෙන අතර මේ යටතේ කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් දිගටම පීඩාවට පත්වී සිටින ගනුදෙනුකරුවන් සඳහා පවතින ණය සහන කාල සීමාවන් අවසන් වීමෙන් පසුවද ණය ගෙවීම සඳහා මාස කිහිපයක සහන කාලයක් ලබාදීමට යෝජනා කර තිබේ.

    මීට අමතරව, මෙම සහන යටතට නම්‍ය වූ ගෙවීමේ විකල්ප ලබාදීම, ණය සහන කාල සීමාව තුළදී ගෙවිය යුතු පොලියට 20% ක් දක්වා වට්ටමක් ලබාදීම, ණය සහන කාල සීමාව තවත් මාස හයක් දක්වා දීර්ඝ කිරීම, ක්‍රෙඩිට් කාඞ් ගෙවීම් සහ අදාළ වන පොලී අනුපාත තවදුරටත් අඩුකිරීම සහ ණය ඒකාබද්ධ සැලසුම් ලබාදීම ඇතුළත් වේ.

    මෙම සහන ලබාගැනීම සඳහා බැංකුවේ නිවාස ණය සහ පුද්ගලික ණය ගනුදෙනුකරුවන්, ලීසිං ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඞ් ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍යම පරිමාණ ණය ගැනුම්කරුවන් සුදුසුකම් ලබන අතර මෙම සහන වලට අමතරව බැංකුව විසින් දැනටමත් විශේෂ ණය යෝජනා ක‍්‍රම හඳුන්වාදීමට සහ සියළු වර්ගවල ණය පොලී අනුපාත අඩුකිරීමට පියවර ගෙන තිබෙන බව බැංකුව සඳහන් කරයි.

    ‘විවිධ අංශවල ණය ගැණුම්කරුවන් සඳහා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කළ ණය සහන කාලවලට වඩා වැඩි කාල සීමාවක් සඳහා බොහෝ ණය ගැනුම්කරුවන් සංඛ්‍යාවකට සහාය අවශ්‍ය වී තිබෙන බව අපට පැහැදිලියි,’ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘අපගේ ගනුදෙනුකරුවන් සමග අපට තිබෙන්නේ දිගුකාලීන සබඳතාවයක්. මේ නිසා, හොඳ කාලයේදී වගේම අමාරු කාලයේදීත් අපි ඔවුන් සමග ඉදිරියට යනවා. නවතම ගෙවීම් සහන යෝජනා ක‍්‍රමය සහ අරුණැල්ල වැඩසටහන් ආරම්භ කළේ ඒ නිසයි.’

    නව ගෙවීම් සහන යෝජනා ක‍්‍රමය යටතේ සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ණය පියවීම සඳහා නම්‍ය වූ ගෙවීම් විකල්ප අවස්ථාවන් බැංකුව විසින් ලබාදී ඇත. මේ අනුව, පොලිය එකවර ගෙවීම, ණය මුදල නැවත ගෙවීමේ කාල සීමාව දීර්ඝ කර ගැනීම, 20% ක් දක්වා පොලිය සඳහා වට්ටමක් ලබාගැනීම සහ පවතින මාසික වාරිකය ඉදිරියේදී ගෙවීමේ පදනමින් පොලිය පමණක් ගෙවා දැමීම මෙම ගෙවීම් විකල්පයන් සඳහා ඇතුළත් වේ.

    එසේම, බැංකුව විසින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙන ක‍්‍රමවේදය යටතේ සහන ලබාගැනීමට සුදුසුකම් ලබන මාසික වාරික පදනමින් ණය ගෙවන ගැනුම්කරුවන්ට සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ක‍්‍රමවේදයට අයත් නොවන ණය ගැනුම්කරුවන් සඳහා විවිධ වූ විකල්ප ගෙවීමේ අවස්ථාවන් නිර්මාණය කර තිබේ.

    මෙම යෝජනා ක‍්‍රම මගින් මුල් ණය මුදලේ මාස 24 ක් දක්වා හෝ ඉතිරිව ඇති කාලය සඳහා ගෙවිය යුතු පොලී අනුපාතයෙන් 90% ක් දක්වා පොලී රහිත ණයක් ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇත. බැංකුව සඳහන් කරන්නේ දීර්ඝ කරගත් ණය මුදල ගෙවා අවසන් වන අවස්ථාවේදී එකතුවී ඇති පොලී මුදල ගෙවීම සඳහා බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබෙන බවයි.

    මෙහිදී, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ක‍්‍රමවේදය සඳහා සුදුසුකම් නොලබන ණය ගැනුම්කරුවන්ට ගෙවීමට ඇති පොලිය සඳහා උපරිම මාස 06 ක කාලයක් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් පොලී රහිත ණය මුදලක් ලබාදෙනු ඇත.

    මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ මේ වනවිට ලබාදී තිබෙන ප‍්‍රාග්ධන සහන කාලය අවසන් වූ පසුව නැවතත් බැංකුව විසින් එය තවත් උපරිම මාස හයක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි. රැකියාව අහිමිවූ හෝ සම්පූර්ණයෙන්ම ආදායම් අහිමිවූ පුද්ගලයින්ට මෙම සහනය ලබාගත හැකිබව බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ගනුදෙනුකරුවන් පොලී මුදල් ප‍්‍රමාදවී ගෙවුවහොත් ඔවුන්ගේ නම ණය තොරතුරු කාර්යංශය වෙත යෑමෙන් මුදවා ගැනීම සදහා බැංකුව විසින් මෙම පියවර ගෙන තිබේ.

    මේ අතර, කොමර්ෂල් බැංකුව විසින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ප‍්‍රකාශයට පත්කර තිබෙන විශේෂ සහන අතරට ක්‍රෙඩිට් කාඞ් බිල්පත් සඳහා ගෙවිය යුතු මාසික අවම මුදල මුල් මාස 06 තුළදී 2.5% ක සිට 1% ක් දක්වා අඩුකිරීම සහ ඉතිරි මාස 06 සඳහා 2% ක් දක්වා අඩුකිරීම ඇතුළත් වේ.

    මීට අමතරව, මේ වනවිටත් අක‍්‍රීය ණය කාණ්ඩයේ සිටින ගනුදෙනුකරුවන්ට සහ කොවිඩි-19 වසංගත තත්ත්වය නිසා අනාගත ආදායම් අහිමිවී සිටින ගනුදෙනුකරුවන් මත වන පීඩනය අවම කිරීම සඳහා බැංකුව විසින් අඩුකළ පොලී අනුපාත යටතේ විශේෂ කාඞ්පත් නැවත ගෙවීමේ සැලසුමක්ද හඳුන්වාදී තිබේ. මෙම ගනුදෙනුකරුවන්ට තම වත්මන් ක්‍රෙඩිට් කාඞ්පත් ණය සම්පූර්ණයෙන් ගෙවීම සඳහා මාස තුනත් මාස 24 ත් අතර කාලය තුළදී විශේෂ පොලී අනුපාත පහසුකමක් සඳහා අයදුම්කළ හැකිබව බැංකුව සඳහන් කරයි.

    මේ අනුව, මාස තුනත් මාස හයත් අතර කාලයක් තුළ සම්පූර්ණයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් ණය පියවන්නේ නම් 2% ක විශේෂ පොලී අනුපාතය සඳහා අයදුම් කළ හැකි අතර මාස 12 ක කාලයක් තුළ පියවන්නේ නම් 6% ක පොලී අනුපාතයක් සඳහාත් මාස 18 ක කාලයක් තුළ පියවන්නේ නම් 9% ක පොලී අනුපාතයක් සඳහාත් මාස 24 ක කාලයක් තුළ පියවන්නේ නම් 12% ක පොලී අනුපාතයක් සඳහාත් අයදුම්කළ හැකිබව බැංකුව පවසයි.

    එසේම, බැංකුව විසින් නව ගෙවීම් සහන යෝජනා ක‍්‍රමය යටතේ ණය ඒකාබද්ධකරණ සැලසුම්ද හඳුන්වාදී තිබේ. මෙම විකල්පය යටතේ ගනුදෙනුකරුවන්ට සියළුම කෙටි කාලීන සහ දිගුකාලීන ණය එක් ණය මුදලකට පරිවර්තනය කරගත හැකි අතර ඒ සඳහා තමන්ට ලැබෙන ආදායමට අනුව සමාන මාසික වාරික වලින් හෝ හීනවන මාසික වාරික වලින් වාරික ගෙවීම සඳහා අවස්ථාව ලබාගත හැකිය. මීට අමතරව, ගෙවීමට තිබෙන පොලී මුදල මෙම ණය මුදල සඳහා එකතු කිරීමට හෝ එය වෙනම ගෙවීමේ අවස්ථාව මෙහිදී බැංකුව විසින් ලබාදී තිබේ. මෙම යෝජනා ක‍්‍රමය මගින් සියළුම ණය ඒකාබද්ධ කර ඒවා වසර 05 ක් තුළ ගෙවීමට බැංකුව අවස්ථාව ලබාදී ඇත.

    මීට අමතරව, ණය ගැනුම්කරුවා විසින් තමන්ගේ වත්කමක් විකුණා ණය මුදලේ ප‍්‍රාග්ධනය ගෙවීමට යෝජනා කරන්නේ නම් මෙම ණය මුදල වෙනම ණය මුදලකට පරිවර්තනය කිරීමටත් එම වත්කම විකුණා වසරක් තුළ එම ණය මුදල පියවා දැමීමටත් බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ. බැංකුව සඳහන් කරන්නේ බලාපොරොත්තු වන ප‍්‍රමාණවත් මූල්‍ය ප‍්‍රවාහ මගින් මෙම ණය මුදලේ පොලී ගෙවීම සිදුකළ යුතු බවයි. එසේ අපහසු වන්නේ නම් වත්කම විකුණා වසරක් තුළ ප‍්‍රාග්ධනය සහ පොලීය එකවර ගෙවිය හැකි බවද බැංකුව සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන කාරක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාගැනීමට කොමර්ෂල් බැංකුවට ණය අයදුම්පත් 4021 ක් ලැබී තිබෙන අතර එහි වටිනාකම රුපියල් බිලියන 19.6 ක් වේ. මේ වනවිට මහ බැංකුව විසින් මෙම ණය අයදුම්පත් 734 ක් සඳහා අනුමැතිය ලබාදී තිබෙන අතර එහි වටිනාකම රුපියල් බිලියන 2.8 කි. බැංකුව විසින් මේ වනවිටත් 665 දෙනෙකු සඳහා ණය ලබාදී තිබෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 2.6 ක මුදල් වැයකර තිබෙන අතර ආසන්න වශයෙන් රුපියල් බිලියන 01 කට ආසන්න ප‍්‍රතිමූල්‍යකරණ කටයුතු සඳහා ඉල්ලීම් ලැබී ඇත. බැංකුව සඳහන් කරන්නේ අයදුම්පත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කිරීමෙන් පසුව අරමුදල් මුදා හරින බවත් ප‍්‍රතිමූල්‍ය ලැබීමට පෙර අනුමැතිය ලබාදෙන බවයි. බැංකුව මෙම ණය යෝජනා ක‍්‍රමයේ දෙවන අදියරට අයදුම් කිරීමට කටයුතු කරමින් සිටින අතර ණය ගැනුම්කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන රුපියල් බිලියන 15.5 ක් වටිනා ණය අයදුම්පත් 3,200 ක් ශ‍්‍රී ලංකා මහ බැංකුවට මේ වනවිට ඉදිරිපත් කර තිබේ.

    එසේම, කොමර්ෂල් බැංකුව විසින් සමහර අංශවල අත්තිකාරම් පොලී අනුපාතද මේ වසර තුළදී අඩුකිරීමට පියවර ගෙන ඇත.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.