කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීයගත ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ පද්ධතියට SLASSCOM සම්මානයක්

    November, 25, 2021

    ශ‍්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2021 Process Automation (RPA) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය සේවා අංශයේ සම්මානය දිනාගැනීමට තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණ සේවා ලබාදීමේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව සමත් වී තිබේ.

    පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතරම මෙහෙයුම් පිරිවැය අඩුවන ආකාරයට ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගතකිරීම වෙනුවෙන් බැංකුවට මෙම සම්මානය SLASSCOM විසින් ලබාදී ඇත. එම සංගමය වාර්ෂිකව පවත්වන මෙම සම්මන්ත‍්‍රණය මෙවර ‘Digital Genesis’ නමින් නම්කර තිබූ අතර කොමර්ෂල් බැංකුව බහු ආංශික සම්මාන 10 ක් අතුරින් එකක් දිනාගැනීම මෙහිදී කැපී පෙනේ. කොමර්ෂල් බැංකුව පසුගිය වසරේදී ද ප‍්‍රධාන මානව සම්පත් කළමනාකරණ ඉල්ලීම් ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම වෙනුවෙන් කළ කාර්ය භාරය සඳහා මෙම අංශයේ සම්මානය දිනාගන්නා ලදී.

    කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීයගත කර තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත් නිකුත් කිරීමේ පද්ධතිය නිසා බැංකුවේ කාර්ය මණ්ඩලයට ක්‍රෙඩිට් කාඞ්පත් අයදුම්පත්වල ප‍්‍රගතිය බලාගැනීමටත් පාරිභෝගික දැනුම්දීම් ස්වයංක‍්‍රීයගත කිරීමටත් අවස්ථාව ලැබී තිබේ. මේ තුළින් ණය තොරතුරු කාර්යංශයේ (CRIB) වාර්තා ක්ෂණිකව බලාගැනීමේ අවස්ථාවද ලැබී ඇත.

    මෙම ස්වයංක‍්‍රීයගත කිරීමේ ක‍්‍රියාවලිය නිසා සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුමක් සැකසීමේ කාලය දින 10 ක සිට දින 03 ක් දක්වා අඩුවී තිබෙන අතර ණය තොරතුරු කාර්යංශයේ වාර්තාවක් ලබාගැනීමේ සාමාන්‍ය කාලය විනාඩි 12 ක සිට විනාඩි 02 කට අඩුවී තිබේ. මීට අමතරව, මෙම ක‍්‍රියාවලිය සරල කිරීම මගින් මෙම ව්‍යාපෘතිය මගින් බැංකුවට සැලකිය යුතු පිරිවැයක් ඉතිරි කරදී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

    ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීමට පෙර එක් ක්‍රෙඩිට් කාඞ්පත් අයදුමක් ඉදිරිපත් කිරීම සඳහා බැංකුවේ කාර්ය මණ්ඩලයට විවිධ පද්ධති 06 ක් සමඟ වැඩකිරීමට සිදු වූ බව බැංකුව පවසයි. එසේම, බැංකුව සඳහන් කරන්නේ එකම දත්ත කිහිප වරක් ඇතුළත් කිරීම සහ ණය තොරතුරු කාර්යංශයේ වාර්තා ඉල්ලීම සහ විශ්ලේෂණය කිරීම නිසා ප‍්‍රමාදයන් සිදු වූ බවයි. එසේම, බැංකු ශාඛා ජාලය තුළ මෙම ණය තොරතුරු කාර්යංශ වාර්තා කිහිප විටක් මුද්‍රණය කිරීම නිසා අමතර සහ අනවශ්‍ය වියදමක් බැංකුවට දැරීමට සිදුවූ බවද කොමර්ෂල් බැංකුව පවසයි.

    පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.