කොමර්ෂල් බැංකුව ත්‍රෛභාෂා ඒකාබද්ධ ඇමතුම් හා සහාය මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

September, 9, 2020

සියලූ සන්නිවේදන නාලිකා සම්බන්ධ කරන මෙම නව මධ්‍යස්ථානය සතියේ දින හතේම පැය 24 පුරා ක‍්‍රියාත්මකයි

සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට භාෂා තුනෙන්ම සතියේ දින හතේම පැය 24 පුරා සේවා සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානයක් එළිදක්වා තිබෙන අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ට විවිධ සන්නිවේදන නාලිකා ඔස්සේ මෙම මධ්‍යස්ථානයෙන් තොරතුරු විමසීම සහ සහාය ඉල්ලා සිටීම කළ හැකිබව බැංකුව සඳහන් කරයි.

මෙම ඇමතුම් මධ්‍යස්ථානය තුළ බැංකුවේ පාරිභෝගික සේවා නියෝජිතයින් සේවය කරන අතර ඔවුන් පාරිභෝගිකයින්ගේ ඇමතුම් වලට පිළිතුරු ලබාදීම, පාරිභෝගිකයින්ගේ ඉල්ලීම් සහ ප‍්‍රතිචාර සටහන් කරගැනීම සිදුකරන අතර පාරිභෝගිකයින්ට උසස් අත්දැකීමක් ලබාදීම සඳහා මෙම කණ්ඩායමට මනා පුහුණුවක් ලබාදී තිබේ. මේ වෙනුවෙන් මෙම කටයුතු බැංකුව විසින් නිසි අධීක්ෂණයකට සහ නිරීක්ෂණයකට බඳුන් කර ඇත.

බැංකුව සමග විවිධ සන්නිවේදන නාලිකා ඔස්සේ සම්බන්ධ වන පාරිභෝගිකයින්ට මනා සේවාවක් ලබාදීම සඳහා බැංකුවේ මෙම ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානය අතිශයින් වැදගත් වන අතර මේ තුළින් පාරිභෝගිකයින්ට වේගවත් සහ වෘත්තීය මට්ටමෙන් ඉහළ ප‍්‍රතිචාරයක් ලබාදිය හැකිබව බැංකුව සඳහන් කරයි.

මෙම ඇමතුම් මධ්‍යස්ථානය එළිදැක්වීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම නව ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නව මානයේ සම්බන්ධතාවයක් ඇති කරන්නයි. මෙහිදී, පාරිභෝගිකයා කරන සියළු විමසීම් සඳහා පිළිතුරු ලබාදීම ඉතාමත් කාර්යක්ෂමව සහ ප‍්‍රසන්නව ඉහළම සේවා විශිෂ්ටත්වයකින් යුක්තව සිදුකරනවා.’ ඔහු පැවසුවේ සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු මෙවැනි අවස්ථාවක මේ ආකාරයෙන් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඉතාමත් ප‍්‍රයෝජනවත් වන බවයි.

මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම මගින් කොමර්ෂල් බැංකුවේ පාරිභෝගිකයින්ට දිනයේ පැය විසිහතර පුරා ඔවුන්ගේ ප‍්‍රධාන ව්‍යවහාර භාෂාවෙන් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සේවාවක් ලබාදීම සහතික කරනු ඇත. මීට අමතරව, මෙම පාරිභෝගික ප‍්‍රතිචාර ලබාගැනීම මගින් බැංකුවේ සේවාවන්ගේ ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය කිරීමට අවස්ථාව හිමිවන බව මුණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේදී බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා (වමේ සිට තුන්වැන්නා) සහ එම අවස්ථාවට සහභාගී වූ (වමේ සිට) බැංකුවේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - ඇමතුම් මධ්‍යස්ථානය බියටි‍්‍රස් ස්ටාර්ලිං මහත්මිය, කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මානව සම්පත් කළමනාකරණය ඉසුරු තිලකවර්ධන මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු කටයුතු සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය.