කොමර්ෂල් බැංකුව සෙරන්ඩිබ් ෆයිනෑන්ස්, CBC ෆයිනෑන්ස් නමින් එළිදක්වයි

January, 13, 2021

කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අයත් ලියාපදිංචි බැංකු නොවන මූල්‍යායතනය (NBFI) ලෙසින් CBC ෆයිනෑන්ස් සමාගම බැංකුව විසින් එළිදැක්වූ අතර මෙම සමාගම මීට පෙර සෙරන්ඩිබ් ෆයිනෑන්ස් සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නමින් අවස්ථා දෙකකදී හඳුන්වන ලදී.

මෙම සමාගම කොමර්ෂල් බැංකුව විසින් 2014 වසරේදී මිලදීගත් ගත් අතර අළුතෙන් ප‍්‍රතිව්‍යුහගතකරණය කළ මෙම සමාගම නව නාමය සහ නව ලාංඡනය සමග 2020 දෙසැම්බර් 30 වනදා සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළබව බැංකුව සඳහන් කරයි.

මේ ආකාරයෙන් අළුතින් එළිදැක්වීම මගින් මෙම සමාගම එහි මව් සමාගම වන මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ මෙරට වඩාත්ම සම්මානනීය බැංකුව වන කොමර්ෂල් බැංකුවේ නාමය සමග එක්ව ක්ෂණිකව හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් මෙම සමාගම මිලදීගැනීමෙන් පසුව එහි තිබූ නම වූ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නාමය සෙරන්ඩිබ් ෆයිනෑන්ස් නමින් වෙනස් කරන ලදී. මෙම සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණය 2014 වසරේදී රුපියල් බිලියන 1.95 ක්වූ අතර එය 2020 නොවැම්බර් අවසන් වනවිට රුපියල් බිලියන 08 ක් දක්වා වර්ධනය වී ඇත. CBC ෆයිනෑන්ස් සමාගම සතුව දිවයින පුරා ශාඛා 10 ක් ක‍්‍රියාත්මක වන අතර එමගින් වාහන ලීසිං, උකස් සහ ව්‍යාපාරික ණය මෙන්ම ස්ථාවර තැන්පතු ඇතුළු පුළුල් පාරාසයක විහිදුණු මූල්‍ය සේවා මාලාවක් ලබාදෙයි.

මේ වනවිටත් CBC ෆයිනෑන්ස් සමාගම විසින් ලබාදී තිබෙන මූල්‍ය සේවා අතරට පුද්ගලික සහ වාණිජ වාහන, විශේෂ කාර්ය වාහන, කෘෂි කාර්මික උපකරණ ඇතුළු පුළුල් පරාසයක විහිදුණු වාහන සහ උපකරණ සඳහා ලීසිං පහසුකම් ලබාදීම, ආකර්ශනීය පොලී අනුපාත සමගින් ස්ථාවර තැන්පතු පහසුකම් ලබාදීම, ව්‍යාපාරික ණය, උකස් ණය ඇතුළු ණය පහසුකම් ලබාදීම ඇතුළත් වේ. CBC ෆයිනෑන්ස් සමාගමේ ශාඛා මහනුවර, කොළඹ, අනුරාධපුරය, කදුරුවෙල, දඹුල්ල, ඇඹිලිපිටිය, මාතර, කිරිබත්ගොඩ, කුරුණෑගල සහ මීගමුව යන ප‍්‍රදේශවල පිහිටා ඇත.

ආකර්ශණීය ලීසිං පොලී අනුපාතයන්, නම්‍යශීලි ගෙවීමේ විකල්පයන්, පාරිභෝගිකයාට ගැලපෙන ලීසිං පැකේජයන්, කරදරයකින් තොර ලියකියවිලි සහ වේගවත් අනුමත කිරීමේ ක‍්‍රියාවලියක් සහ විශේෂ රක්ෂණ පැකේජයන් සමාගම විසින් පාරිභෝගිකයින්ට ලබාදෙන බවය සමාගම සඳහන් කරයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 880 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

සේයාරු සටහන - (ඉහළ) CBC ෆයිනෑන්ස් සමාගමේ සභාපති ධර්ම ධීරසිංහ මහතා (මැද), ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය (වමේ) සහ කළමනාකාරු - කොළඹ ශාඛාව ප‍්‍රසාද් බදුවත්ත මහතා CBC ෆයිනෑන්ස් සමාගමේ සමාරම්භක අවස්ථාවේදී සහ (පහළ) සභාපති ධර්ම ධීරසිංහ මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා (වමේ සිට පිළිවෙලින් තෙවැන්නා සහ සිවුවැන්නා), ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය සහ CBC ෆයිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිළධාරී උපුල් දිසානායක මහතා සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අයුරු.