කොරෝනා නිසා ‘Ceylon Tea’වලට ඕස්ට්‍රේලියාවේදී ඉහළ ඉල්ලුමක්

    November, 3, 2020

    කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිය වැඩි කරන  අත්‍යවශ්‍ය පානයක් ලෙස‘Ceylon Tea’ ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් ඉකුත්දා මෙල්බර්න් හිදී පැවැත්විණ.

    මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ  මෙම වැඩසටහන ‘Virtual Ceylon Tea Evening’ නමින් නම් කර තිබුණි. බොහෝ පිරිසක් සහභාගි වූ මෙම ප්‍රවර්ධන අංගයේදී, දැනට පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය පානයක් වන තේ, පානය කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

    ‘Virtual Ceylon Tea Evening’ කොවිඩ්-19 වසංගත කාල සීමාවේදී  ශ්‍රී ලංකාවේ ‘Ceylon Tea’ ප්‍රවර්ධනය කිරීම සඳහා නවතම ප්‍රවේශයක් විය. වෙබ් අඩවි මත පදනම්ව සිදුකරන ලද මෙම වැඩසටහනට සහභාගි වූ හතළිහකට අධික පිරිස අතරේ, ඕස්ට්‍රේලියාවේ ‌‌‌ෆෙඩරල් පාර්ලිමේන්තුවේත්, වික්ටෝරියා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේත්, ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලයේත්, ඕස්-ලංකා ව්‍යාපාරික කවුන්සිලයේත්, ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා කවුන්සිලයේත්, වික්ටෝරියාහි කොන්සියුලර්  ප්‍රජාවේ සාමාජිකයෝත් ඇතුළු මෙල්බර්න්හි හෝටල්කරුවෝද  වූහ.

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, ජයන්ත මොල්ලිගොඩ මහතා කොළඹ  සිට මීට සහභාගි වෙමින් ලංකා තේවලට දිගින් දිගටම කැමැත්තක් දැක්වීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ තේ පාරිභෝගිකයන්ට සිය ප්‍රශංසාව පුද කළේය. 2021 දී ආරම්භ වන “Ceylon Tea Global Promotional Campaign” මඟින් ලංකා තේවලට ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයන් සමීප කිරීම සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ආවරණය කරනු ඇත. ඩිල්මා ලංකා තේ හි ප්‍රධාන විධායක නිලධාරි ඩිල්හාන් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවේ විවිධ පළාත්වල වැවෙන ලංකා තේ වල රස බැලීම සහ නිවැරදි ලෙස තේ කෝප්පයක් සෑදීම ප්‍රදර්ශනය කළේය.

    ඕස්ට්‍රේලියාවේ “ටී මාස්ටර්ස් ” ආරම්භකයා සහ එහි ප්‍රධාන විධායක නිලධාරි ෂර්යාන් ජොන්ස්ටන් මහතා ලංකා තේ සදහා කැමැත්තක් දක්වන මනුයෙලා අර්බි මහතා සහ “ෆුඩ් බෑන්ක් වික්ටෝරියා ෆුඩ් ප්‍රොකියුමන්ට්" හි කළමනාකරණ සුනිල් ලක්ෂමනාසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ සිට සහභාගි වූ පිරිස අතර වෙති. ලංකා තේවල උසස් ගුණාත්මකභාවය, විශේෂයෙන් මෙම වසංගත සමයේ තේ පානයෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි, ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට තේවල ඇති හැකියාව, ඔක්සිහාරක ගුණය හා දේහයේ ආතතියට තුඩු දෙන කෝටිසෝල් හෝමෝනය අඩුකිරීමට ඇති හැකියාව මෙම පිරිස අවධාරණය කරන ලදී.

    මෙම වසරේ මුල් භාගයේදී, ඕස්ට්‍රේලියාවේ වනාන්තරවල ඇති වූ ගින්නේ වින්දිතයන් සදහා ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමාගෙන් ත්‍යාගයක් වශයෙන් ලද Ceylon Tea තොගය “ෆුඩ් බෑන්ක් වික්ටෝරියා” විසින්  බෙදා හැර තිබේ.

    ඕස්ට්‍රේලියාව Ceylon Tea සඳහා වැදගත් වෙළඳපොළකි. 2018 වසරේදී ඕස්ට්‍රේලියාවට තේ අපනයනය කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානය හිමිකරගත් අතර අපනයනය කළ තේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2391කි; එම වසරේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට සිදු කළ අපනයනවලින් එය 12% ක් විය. 2019 වසරේදී ඇ.ඩො.මිලියන 25කට අධික වටිනාකමින් යුතු තේ ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාව අපනයනය කර ඇත. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ලංකා තේ වෙළඳපොළ සදහා අමතර වාසිදායක තත්ත්වයක් පවති.

    කොවිඩ් වසංගතය හේතුවෙන්  සෞඛ්‍ය හා යහපැවැත්ම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වීම, ඕස්ට්‍රේලියාවේ Ceylon Tea වෙළඳපොළ සඳහා අමතර වාසිදායක තත්ත්වයක් වෙයි.