කොරෝනා බලපෑම කොටස් වෙළෙඳපොළටත් – සියලු කොටස් ඒකක 112කින් පහළට

    July, 13, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 4,879.76 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව ඒකක 112.86 ක් හෙවත් 2.26% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 68.09 කින් පහළ ගොස් ඒකක 2,072.10 ක් ලෙසින් වාර්තා විය. මෙය 3.18% ක පහළ යාමක් වේ.

    දිනයේ ගනුදෙනු තුළින් රු. බිලියන 1.34 ක පිරිවැටුමක් වාර්තා විය.

    අද පෙරවරුවේ දෛනික ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතකින් පෙරවරු 11.02ට මිනිත්තු 30 ක කාලයක් සඳහා ගනුදෙනු අත්හිටුවනු ලැබිණි. S&P SL20 දර්ශකය පූර්ව දිනයට සාපෙක්ෂව 5% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවිය.

    මේ අතර පසුගිය සිකුරාදා (10) දිනයේ දී ද සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 97.79 ක පහළ යාමක් වාර්තා වූ අතර වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වයේ යළි හිසඑසවීමක් වාර්තා වීමත් සමඟම ආයෝජකයින් යළිත් වරක් අවිශ්වසනීය තත්වයකට පත්වීම මෙයාකාරයෙන් කොටස් වෙළෙඳපොළේ කඩාවැටීමට හේතු වී ඇති බවයි.

    අද දින විදේශීය විකිණුම් ඉක්මවූ විදේශීය මිල දී ගැනීම් අගයයක් වාර්තා වීම විශේෂත්වයකි. ඒ අනුව රු. මිලියන 236.62 ක විදේශීය විකිණුම් වාර්තා වී ඇති අතර අද දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 394.39 කි. දේශීය විකිණුම් රු. බිලියන 1.11 ක් හා දේශීය මිල දී ගැනීම් රු. මිලියන 953.21 ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් වී තිබුණි.