කොවිඩ්-19 ලංකාවේ ලොකුම සමාගම් සමූහයට බලපෑවේ මෙහෙමයි

    July, 30, 2020

    2020/21 පළමු කාර්තුවේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී බදු ගෙවීමට පෙර රු. බිලියන 2.43 ක අලාභයක් වාර්තා කරයි

    ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නවතම මූල්‍ය ප්‍රතිඵල ඊයේ (29) දින ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව රු. බිලියන 31.74 සිට රු. බිලියන 21.60 දක්වා 32% කින් පහළ ගොස් ඇත.

    2020/21 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ දී පොලී, බදු, ක්ෂය හා ක්‍රමක්ෂය අඩුකිරීමට පෙර සමූහයේ ඉපැයීම් රු .මිලියන 802 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ අගය වූ රු. බිලියන 3.57 හා සැසඳීමේ දී 78% ක පහළ යාමකි.

    මෙම පසුබිම තුළ 2020/21 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ දී සමූයේ බදු ගෙවීමට පෙර ලාභය සෘණ අගයයක් ගෙන තිබේ. එනම් රු. බිලියන 2.43 ක අලාභයකි. පූර්ව මූල්‍ය වර්ෂයේ මුල් කාර්තුවේ දී සමාගම වාර්තා කර තිබූ බදු පෙර ලාභය රු. බිලියන 1.36 කි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේනද්‍ර මහතා පවසන්නේ, අපේක්ෂා කළ පරිදි රට අගුළු (lockdown ) දමා තිබූ කාලපරිච්ඡේදය, සමූහයේ කාර්යසාධනය කෙරෙහි පැහැදිලි වශයෙන් බලපෑම් කර ඇති බවයි. කෙසේ වෙතත් මැයි මාසයේ මැද සිට මෙම lockdown  නීතිරීති ලිහිල් කිරීමත් සමඟ ප්‍රවාහන, පාරිභෝගික ආහාර, සිල්ලර, මූල්‍ය සේවා ව්‍යාපාරවල දක්නට ලැබුණු කාර්යසාධනය අනුව බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන ස්වභාවයක් පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.